Sunday, October 29, 2017

වදාකඩ ගින්නේරි කන්දේ මිහිරි සුවඳැති මල් පිපේවා !  පොල්ගහවෙල ඉස්ටේෂම දෙවන කොටස

වදාකඩ ගින්නේරි කන්ද
පොල්ගහවෙල ඉස්ටේෂමේ  කතාවේ දෙවන කොටස ලියන්න  මාසයක් විතර ගියා. ඒත්  මේ දවස් තිහ ඇතුලේ බොහෝ දේවල් සිද්ද වුනා. මාස කීපයක්  තිස්සේ වුනත් කතා කරන්න තරමේ අත්දැකීම් ගොඩක් ලැබුනා  .
මම සතුටෙන් සමරන කෝච්චියේදී සිදුවූ ඉතා අහඹු  හමු වීමක් තියෙනවා  . පොල්ගහවෙලින් නැගලා හවස කෝච්චියේ අසුනක් සොයාගෙන යද්දී රැවුල්කාර  තරුණයෙක්  සිටි අසුන අසලින් මටත් ඉඩක් හම්බුනා. මෙන්න පොඩ්ඩකින් මේ මනුස්සයා මගේ දිහා බලල සතුටු සිනා පාන්න පටන් ගත්තා . එතකොටයි මටත් යාළුවව අඳුන ගන්න පුළුවන් උනේ . ඒ මගේ මිත්‍රයා අවුරුදු ගානකට පස්සේ ඒ විදිහට හමු වුනත් ඒ හමුව ආයෙමත් මාව   විද්‍යා ලේඛනය පැත්තට තල්ලු කරන්න උනන්දු කළා. ඒක  වෙනම සටහන් කළයුතු කතාවක් .
ඔහු තමයි පින්නවල අලින්ගේ නවාතැනේ බාරකාරයා.  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන නවෝද් .
අක්කර විසි ගානක ඉඩක අලි අසූවකට වැඩිය ගාල් කරගෙන නඩත්තු කරන එක හිතන තරම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි .

ඔහුට  තිබෙන ලොකුම  ගැටලුව තමයි ටොන් ගණනින් නිතිපතා  එකතුවෙන අලිබෙටි කළමනාකරණය කර ගන්නේ කොහොමද කියන එක  . කිසිම පොහොරමය ගුණයක් නැති අලිබෙටිවලින් ගන්නට පුළුවන් ප්‍රයෝජනයක් හොයා  බලන්න ඔහු මේ දවස්වල  වෙහෙසෙන බව මා එක්ක කීවා . ඒ කියද්දී මට මතක් වුනේ පේරාදෙනි ඉංජිනේරු පීඨයේ රසායන ඉංජිනේරු අංශයේ  ආචාර්ය අනුර මනිපුර .  එයත් ඔය ජාතියේ වැඩ ගැන ගොඩක් උනන්දු පුද්ගලයෙක්. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන සෑහෙන  දැනුමැත්තෙක් . ගිය මාසයේ මම කරපු එක සාර්ථක කටයුත්තෙක් තමයි මේ පර්යේෂකයන් දෙන්නා මුණ ගැස්සවීම . ඒත් ලංකාවේ මොනතරම් විෂය ක්ෂේත්‍රයේ දැනුමැත්තෝ හිටියත් ප්‍රශ්නවලට උත්තර දෙන්න බලය තියෙන්නේ ගොඩ පෙරකදොරුවන්ට නිසා මේවා ගැන  වැඩි බලාපොරොත්තු තියා ගන්න එක නුවණට හුරු නෑ .

ඒ මුණ ගැසීමෙන් පස්සේ මට පේරාදෙනි රසායන ඉංජිනේරු විද්‍යා සිසුන්ගේ පර්යේෂණ සමුළුවක් ආ සුහද හමුවක් අමතන්න  ඇරයුමක් ලැබුනා . බොහොම සොඳුරු  දවසක් ඒක  .ඊටත් පස්සේ ලංකා විද්‍යාභිවර්ධන සංගමෙය  විදුසර විද්‍යා සඟරාවත් එක්ක හවුලේ සංවිධානය කළ විද්‍යා සන්නිවේදකයන් සඳහා වූ වැඩමුළුවක දෙසුමක් කරන්නත් සිද්ද වුනා. මට අදාළ වෙලා තිබ්බේ විද්‍යා ලේඛන වැනි ප්‍රබන්ධ නොවන ලියමන්  රසවත්ව ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. එදා දවසේ විස්තරේ බ්ලොග් පෝස්ට්  එහෙකින්ම ලියන්න වෙනවා .

මීට අවුරුදු 27කට කලින් මම විදුසර පත්තරේට ලියපු කවරයේ කතාවක් නැගලා ගියා. එවකට මම සරසවි සිසුවෙක්. ලියමනේ මාතෘකාව ' මල්වර නොවී වියපත් වූ   අපේ කරදාසි කර්මාන්තය" . මේ ලිපිය කියවූ  කෙනෙක් අලිබෙටි   වලින් සුබ පැතුම්පත් හදන්න පුලුවන්ද කියලා මගෙන් අහල තිබ්බ වග මතක් වුනා .අලිබෙටි වේලා,සෝදා සකස් කරගන්නා පල්පය කඩදාසි හදන්න ගන්නා බවත් ඒවායින් හදන විසිතුරු කඩදාසි හා සුබපැතුම්පත්වලට විදේශිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙන බවත් මාත්  අසා තිබුනා

ඉතින් ඒ ප්‍රශ්නෙම මම නවොද්ගෙන් ඇහුවා . මගේ මිත්‍රයා කිව්වේ ඒක අලි බොරුවක් වෙන්නත් පුළුවන් බවයි.
"මමත් මුලින් උත්සහ කරා මේ එකතුවෙන අලිබෙටි ටික ඒ වගේ දෙයක් කරන ආයෝජකයෙකුට දෙන්න. ඒත් ඔය සුබ පැතුම් පත් හදන ගොඩක්  දෙනෙක් අලිබෙටි සුලු පරිමාණයෙන් මුසු කරගෙන  තමයි ඔය කරදාසි හදන්නේ . කොහොමත් තනිකර අලිබෙටි වලින් ඔය වැඩේ කරන කිසි කෙනෙක් මට හම්බ වෙලා නෑ ".ඔහු කිව්වා

ඉස්සර ප්‍රබාකරන් විසින් ඇති දැඩි කළාය කියන ඇතින්නක් යුද්දෙන් පස්සේ පින්නවලට ගෙනත්  තියෙනවා. මගේ මිත්‍රයා කිව්වා ළඟදී දවසක ඒ  ඇතින්න කඳවුරෙන් පැනලා යන්න හදපු කතාව . දාලා හිටි තැනින්  දම්වැල කඩාගෙන ඒ මදිවට ඇවිදිනකොට  සද්ද වෙන නිසා දම්වැල කරේ දාගෙන හොරෙන් හොරෙන් කඳවුරේ වැට ගාවටම ඇවිල්ලා  . කවුදෝ  හොඳ වෙලාවට මෙයාව දැක්ක නිසා ආපහු දක්කාගෙන ගිහින් මාංචු දැම්මලු .

මේ කතා අර කතා මැද්දෙන් මම පොල්ගහවෙල යන්න හෙතුභූත  වූ කටයුත්තේ මම බාරගත්ත රාජකාරී කොටස ඉවර කරලා එන්නත් තව දවස් කීපයයි තියෙන්නේ.   අපේ ව්‍යාපෘති කන්තෝරුව තිබ්බේ වදාකඩ  ගින්නේරි කන්ද අසබඩ.  වදාකඩ කියන්නේ නවීනත්වයට පිම්මේ නොගිය සුන්දර  කඩ මන්ඩියක්  අපි දවල්ට  බත් කන්න යන  කඩේ ඉස්සරහ පුංචිම පුංචි පුස්තකාලයක් තියෙනවා . මම නිකමට එතැනට ගොඩ උනා .

මිල්ටන් කුමාරණායක  අනුස්මරණ පුස්තකාලය
වදාකඩ

පුස්තකාලයාධිපතිනිය මද සිනාවකින් මාව  ප්ලිගනිද්දී  ඇගේ සහයිකාවද මේ දැකලා පුරුදු නැති අමුත්තා දෙස සුහද එහෙත් කුකුස මුසු බැල්මෙන් බැලුවා . මම පුංචි පුස්තකාලය සිසාරා ඇවිද බැලුවා.
පුංචි ඉඩකඩක උනත් පොත් රාශියකුත්  කියවන්නන් නිතර යන එන බවකුත් පෙනෙන්න තිබුනා .
මම පුතකාලයාධිපතිනියගෙන් විමසුවේ මෙහි සමාජක සාමාජිකාවන් කී දෙනක් විතර සිටිනවාද කියල .  මේ වගේ ගම්මානෙක පුංචි පොත්ගුලක පොත් කියවන්න එන සජීවී සාමාජිකයන් ගණන දාහට වැඩි  බව ඇහුවම  මට සතුටක් දැනුන  නිසා මම මෙහෙම ඇහුවා .

"අර අහවල් ව්‍යාපෘතියේ වැඩකට මම ඇවිල්ලා ඉන්නේ . මේ පුස්තකාලෙට පොත් ටිකක දෙන්නත් වෙනත් උදව් පදව්වක් ඕනිනම් කරන්නත් අපි කැමතියි" .

පුස්තකාලයේ ඒ වන විට සිටි තුන් හතර දෙනාගේම මුහුණු  ප්‍රබෝධමත් වුනා. හරියට අපි ඉස්කෝලේ කාලේ  පී බී අල්විස් පෙරේරාගේ කවි පන්තියක් කියෙව්වම ආපු ප්‍රබෝධය වගේ ,
මේ වෙලාවේ එතන හිටි බවලතා කියනවා .
 'අනේ කොච්ර උදව්වක්ද මහත්තයා . මේ පුස්තකාලේ තනිකරම හිතවතුන්ගේ උදව් පදව් නිසා ගොඩ නැ ගිච්ච එකක් . තව දියුණු කර ගන්න ඕනි. ළමයි හරි ආශාවෙන් ඇවිත් පොත් කියවනවා"

මම එහෙ මෙහෙ තිබ්බ පොත් පෙරළ  පෙරළා  බැලුවා. වැඩිපුරම අතට දියවෙලා දුර්වර්ණ වෙලා තිබ්බේ මල් මල් නවකතා පොත්. කමක් නෑ  ටී වී එක ළඟ වටවෙලා  හින්දි  ස්වප්න  බලනවට වඩා මේ කියවිල්ල හොඳයි මම හිතුව .
එහෙම කල්පනා කරමින්ම ජනේලෙන් එපිටහ තිබ්බ කොලපාට සමර ගාපු විශාල ගෘහය දිහා බලා හිටිනා  වෙලේ පුස්තකාලේ බාර නෝනා මෙහෙම කියනවා .
"මහත්තයා ඔය ගෙදර තමයි පී බී අල්විස් පෙරේරා හිටියේ.  මේ පුස්තකාලෙට ඉඩම දුන්නේ එතුමාගේ මස්සිනා මිල්ටන් කුමාරනායක "

දෙයි හාමුදුරුවනේ අපි අර පාර කපාගෙන එන ගින්නෙරිය කන්ද ගැන කවි ලියල තියෙන්නේ එහෙනම් ඔය ගෙදර  කවුළුවෙන් බලාගෙන නේද   .



වදාකඩ ගින්නේරි කන්දේ මිහිරි සුවඳැති මල් පිපේවා !

එදා සිට මම පොල්ගහවෙලට කෝච්චියේ ආවේ එතැනින් බැහැලා හනිකට වදාකඩට ඉගිල්ලෙන්න බලාගෙන .  වදාකඩ  පුස්තකාලේ ගිය සතියේ පොඩි පහේ උත්සවයක් තිබ්බා . ඒගැනත් ලියන්නම වෙනවා

තව කොටස් ගොඩක් තියෙනවා


27 comments:

  1. අගෙයිනෙ....තිලක සිත

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි SDC

      Delete
  2. ඉතාමත් වැදගත් පිවිසුමක් තිලක සිත.
    මමත් ඔබ සඳහන් කර තිබෙන ව්‍යාපෘති වැනි කටයුතු කිහිපයක නිරත වූ කෙනෙක්. විද්‍යාවට අදාළ ලියකියවිලි සකස් කිරීම, විද්‍යභිවර්ධන සංගමයේ සමහර සැසි වලට සහභාගී වීම, විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයන ආදියට සම්බන්ධවීම, අධ්‍යාපන අමාත්‍යංශ විද්‍යා උපදේශකවරයෙකු ගෙස කටයුතු කිරීම වැනි දේවල් කර තිබෙනවා. මෑතදී පරිසරය සම්බන්ධ පොතක් ලියා පළකිරීම සඳහා පොත් ප්‍රකාශකයෙකුට භාර දුන්නා.මම නම් දැන් විශ්‍රාමිකයෙක්. විද්‍යා උපාධිය කළේ 1963 වසරේ.පශ්චාත් උපාධිය 1983 වසරේ. මම ඔබගේ blogs කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන කියවා ඉතාමත් සතුටක් ලැබුවා . ඉදිරියට අපිට හමු වෙන්න ලැබේවි. විද්‍යා දැනුම බෙදන්න ඔබ ගන්නා වෙහෙස අගයනවා . ඒවා තව තවත් සාර්ථක වේවා . බොහොම ස්තුතියි

      Delete
  3. එතකොට අලි බෙටි වලින් කියලා හදලා විකුනන්න තියෙන ඒවා බොරුද?

    ReplyDelete
    Replies
    1. මාත් හිතං හිටියේ ඇත්තක් කියලා

      Delete
    2. සමහර විට ඔවුන් සීමිත නිෂ්පාදනයක් කරනවා ඇති . එහෙම නැත්නම් ඔය ටොන් ගණනින් එකතු වෙන අලිබෙටි ගෙනියන්න ආයෝජකයෝ පෝලිමේ ඒවිනෙ

      Delete
  4. එතකොට මේකෙ තියෙන්නෙ බොරු ද?
    http://www.elephantdungpaper.lk/main.html

    ටීවී එක ඉස්සරහ හරි ස්මාට් ෆෝන් එකක් ඉස්සරහ හරි කාලෙ කනවට වඩා නවකතා උනත් පොතක් කියවන එක අගය කළයුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ ප්‍රසන්න .
      ටී වී බැලිල්ලනම් නවත්තලාම දාන්න හිතෙනවා වෙලාවකට

      Delete
  5. මරු ඈ.. තිලකෙට ලියන්න ආයි හයිය ලැබිච්චි එකම ඇති... ඔය පින්නවල කඩ තියෙන හරියේ මං දැකල තියෙනවා අලි බෙටි වලින් කඩදාසි අනං මනං හදලා විකුණන්න තියෙන කඩයක්.. ඔය කිව්ව වගේ අලි බෙටි බිංදුවක් දාලා හදල ඇති. අර විදුසරේ කරපු කතාව අහන්න හරි කියවන්න හරි ආසයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේසා. අර කතාවත් ලියලා දාන්නම්

      Delete
  6. http://www.ecomaximus.com/max/jm/index.php?option=com_content&view=article&id=1&Itemid=2

    ???

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් තමා.. මටත් මැක්සිමස් මතකයි..

      Delete
    2. මේ ගැන හරියටම කියන්න දන්නේ නෑ ප්‍රා . සමහරවිට පින්නවලින් නැතිව වෙන කොහෙන් හරි අලි බෙටි ගන්නවද දන්නේ නෑ

      Delete
  7. "වදාකඩ නවරත්න" කියලා නමක් නම් නිතරම මතක් වෙනවා.මම හිතන්නේ ඒ ලංකාදීප පත්තරේට ලියන කෙනෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මමත් අහල තියෙනවා මනෝජ් ඒ නම

      Delete
  8. මමත් ඉස්සර ඔය දර බොයිලේරු වලින් (Biomass Boiler) එන අළු වලින් කරන්න පුළුවන් දෙයක් හෙව්වා - එකත් ටොන් ගණන් එකතු වෙන විසඳුමක් නැති ඝන අපද්‍රව්‍යයක් .... ඔය අළු වල සාම්පල් අරන් එකේ තියෙන සංයුතිය තියෙන පරීක්ෂණ විද්‍යාගාර වලට යව යව තමා කරේ.... ඔය වගේ වැඩක් කරද්දී ඉතින් අර කිව්වත් වගේ හරිම අමාරුයි අපේ මිනිස්සු නම්ම ගන්න.... දර පුච්චලා ආපු අළු එකේ බැර ලෝහ තියෙනවා කියල එකෙන් පොහොර හදන්ඩ ගන්ඩ බැහැ කියපු ආණ්ඩුවේ අයත් හිටිය

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු බෑ ඕකනම් හරි යන්නේ නෑ කියා ගත්තු ගමන්නේ ඉන්නේ නදීර . ඒ විස්තරෙත් ලියන්න බ්ලොග් එකේ

      Delete
  9. හරිම අපූරුයි... ඉස්සරහට බ්ලොග් පොස්ට් ගොඩක් ලියන්න කතා එකතු වෙලානේ... :)

    ReplyDelete
    Replies
    1. ලියන්න කතානම් එකතු වුනා . කම්මැලි කමත් ඒ වගේම ව්කතු වෙලා . බොහොම ස්තුතියි තුෂානි

      Delete
  10. මිල්ටන් කුමාරණායක මහතා භාෂා විශාරදයෙක්. සංස්කෘත භාෂාව පිළිබඳ එතුමාගේ දැනුම විස්මයාවහ වූවක්. විදුහල්පති වරයෙක් ලෙස සේවයකොට විශ්‍රාමයෙන් පසු පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ එතුමා සේවය කළ කාලෙ මට හමු වී තිබෙනවා. කාලිදාසකිවිඳුන්ගෙ 'මේඝදූතය' ගැන එතුමා කල දේශනයක් ශිෂ්‍යයෙක් කාලෙ අහලත් තියෙනව. අනතිමානී තවුසෙක් වගේ ජීවිතයක් ගත කළ එතුම දිවංගත වී සෑහෙන කලක්. ශ්ලෝක නිර්මාණයට එතුමතුළ තිබු හැකියාව හරි ඉහළයි.
    එතුමාගෙ පේරාදෙනි ශිෂ්‍ය කාලෙ දිනක් එතුමා තම ඇදුරුවරයෙකුට පරණ බව පෙනෙන එහෙන් මෙහෙන් ඉරිච්ච කඩදාසියක ටිකක් තීන්ත බොඳව ගිය අකුරින් ලියාතිබු පැදි කීපයක් පෙන්වා 'සර්, මට මේක හම්බ උනේ පුස්තකාලෙ පරණ පොතක් ඇතුළෙ තිබිල. මේ ශ්ලෝක ටික මොන පොතකින් ගත්තුවද කියල මම් මේ හිත හිත හිටියෙ. බොහොම ශෘංගාරාත්මකයි. පොඩ්ඩක් කියවල බලල මේක මොන් පොතක තිබුනු එකක්ද කියල කියනවද? කියල අහල තියෙනව. ගුරුතුමාත් හරි සීරියස් පිට කියවල ටිකක් කල්පනා කරල 'මේක ඉතා පුරාණ නිර්මාණයක් බවයි පේන්නෙ. මං හොයල කියන්නම් කියල.

    ඇත්ත කතාව නම්: ගුරුතුමා සිය ශිෂ්යාවක් සමග වූ පෙම් පලහිලවුවක් ගැන කුමාරණායක මහතාම ප්‍රබන්ධ කළ ශ්ලෝක පෙලක් බවයි මට මේ කතාව කියූ කෙනා (එවකට එතුමා සමග එකට උගත්) කිවුවෙ. ඒ වගේ කතා කීපයක් ම මං අහල තියෙනව වෙනත් අයගෙන්. ඒ හැම කතාවක්ම් කුමාරණෑයකෙ මහතාගෙ භාෂා හැකියාව පිළිබඳ කතා.)

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි

      Delete
    2. බොහොමතම ස්තතියි ඔබේ සටහනට. ගිය සතියේ තිබ්බ උත්සවෙදී මිල්ටන් කුමාරණායක මහතාගේ පවුලේ කෙනෙක් හමු වී ඔහු ගැන වැඩිමනත් තොරතුරු හොයන්න හිටියත් ඉඩක් ලැබුනේ නෑ . ඔබේ සටහනින් වතිනා තොරතුරු ටිකක් එකතු වුනා . මිල්ටන් කුමාරණායක ගැන ඔහුගේ ගම්වාසීන් ඉතාම කෘතවේදීව කතා කරනවා. ඔහු ගැන සටහනක් ලියන්නට සිතා සිටිනා නිසා වැඩිපුර විස්තරයක් ඇත්නම් කරුණාකර මට එවන්න : thilakasitha@gmail.com

      Delete
  11. ඒක ආසාවෙන් කියෙවුව අයියා. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති

      Delete
  12. ඔබේ කර්තව්‍ය සාර්ථක වේවා වාදකද යනු මගේ නිවසේ සිට පෙය භාගයෙන් ගිය හැකි නගරයකි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව් වදාකඩ ඉඳන් පොතුහැරට වැඩි දුරක් නෑ. බොහොම ස්තුතියි ඔබට

      Delete