Monday, September 25, 2017

මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයයි


ඉංග්‍රීසියෙන් Writers  Block කියන්නේ රහට හෝ නොරහට මොනවා හෝ කුරුටු ගාමින් සිටින  කෙනෙකුට ලියන්න දේ ඉතිරිව තිබියදීත් ලිවීම එපා වීමය. මම  මේ වචන දෙකේ  තේරුම සිංහලෙන් ලියන්නට උත්සහ කළෙමි  . එක්තරා ඩික්ෂනරියක්  තෝරාගෙන  පළමුවෙන්ම writer  යන්නට දී ඇති සිංහල වදන තේරීමි. ඒ අතරින් මගේ හිතගත් නිර්වචනය වූයේ  'කංකානම'  යන්නයි . ඒ මා දැනට කරමින් සිටින රස්සාවටද ටිකක් ගැලපෙයි. ඊළඟට block  යන්නට දී ඇති සිංහල වචන අතරින් මනරම්ම එක වූයේ  'අඩය' යි. හරියට හරි ඔය තියෙන්නේ වචනය ; 'කංකානම්ගේ අඩය'  හෙවත් writers  Block. මා මේ වෙර වෑයම් දරන්නේ writers  Block එකෙන් බේරීමටය . කොටින්ම කංකානම්ගේ අඩය  ගළවන්නටය . එහෙන් මෙහෙන් දින සටහන් ටිකක් ලියා වැඩේ පටන් ගත්තෙමි .
මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයයි
මම ආයෙමත් ආදරය කරන්නට පටන් ගත්තා . ඒ පොල්ගහවෙල රේල්වේ ඉස්ටේමටයි.  කාලෙකට ඉස්සර බණ්ඩාර කේ විජේතුන්ගයන් ලියු මේ පද පේලිය කියවලා තියෙනවද ?

දුම්රිය ඇන්ජිම මම ..
ඔබ ඇයි
රේල් පීලි මත පිපුනේ?

මේක මගේ ජීවිතේට කිසිම සම්බන්දයක් නැති වුනත් ලොකු දොනී වෙනත් කොහේදෝ ඉස්ටේසමකදී ගත්  ඉහත ෆොටෝ එක නිසා මට ඒ කවිය මතක් වුනා . පොල්ගහවෙලදී මට ආයෙමත් පොටෝ එකත් කවියත් දෙකම මතක් වුනා .
ඉස්ටේසමේ උඩුමහල්  කැන්ටිමේ ටී එක මරු . පොල් රොටියනම් ගන්ඩ  දෙයක් නෑ. ඒත්  මම ඉස්ටෙසමට කැමතියි.  පොල්ගහවෙල ඉඳන් මරදානට එක්ස්ප්‍රස් එක පැයයි  විනාඩි දහයට එනවා. ඒත්  මරදානේ ඉඳන් රාජගිරියට ටැක්සියේ යන්න පැය  එක හමාරක් විතර යනවා .

මම පහුගිය දවසක පොල්ගහවෙලින් නැගලා හම්බවෙච්ච සීට් එකේ වාඩිවෙලා පොඩි නින්දක් දාන්න හැදුවා විතරයි මෙන්න මගේ ඉස්සරහ හිටි හාදයා මුළු පෙට්ටියම දෙවනත් වෙන්න මල් කඩනවා .
'කොහෙද සුදූ  ඔයා ඉන්නේ. මම තාම  පොල්ගහවෙල . තව පැය  එක හමාරක් වත් යයි සුදූ . ඔයාට බඩගිනිනම් මොනවා හරි කන්න . හැබැයි සුදු මම නම් ගෙදර යනකම්  වතුර එකක්වත් බොන්නේ නෑ''
.
අනුන්ගේ ඕපාදුප හෙවිල්ල කොච්චර නරක පුරුද්දක් වුනත් අපි  ඒ නොසන්ඩාල වැඩේ කරනවා. අපි සරසවි බෝඩිමේ ඉන්නා කාලේ  පාරේ වැටිලා තිබ්බ බොහොම රසවත් පෙම් හසුනක් ඒ කාලේ අතින් අතට ගියේ තළු  මර මර තව තවත් ලුණු ඇඹුල් එකතු වෙමින් . නන්නාදුනනන අහිංසක පෙම්වතී සිය පෙම්වතාට මෙහෙම ලියල තිබ්බා .

" මම දන්නවා සුදූ  ඔයා නරක වැඩ  කරන බව . සිගරැට්  බොන බව . එක අතකට කොල්ලෙක් වුනාම සිගරටුත් බොන්න ඕනි තමයි . හැබැයි සුදෝ එකයි දෙකයි .
සුදු ඔයා අපේ ගෙදර ලඟින් නිතර එහෙ මෙහෙ යනවා නේද. එහෙම ගියත් ඔයා අපේ ගේ පැත්ත හරි හැරී බලද්දී අයියලාට මොනා හරි දැනුනොත් මට ඉන්න වෙන එකක් නා . ඒ නිසා සුදෝ ආයේ අපේ ගෙදර දිහා බලන්න එපා. හැබැයි සුදෝ මමනම් ජනේලෙන් හරි බලනවා ''

ඉතින් මේ අතීතය පුනරාවර්තනය වෙමින් යනවා අර කෝච්චියේ හම්වුන පෙම්වතා සිය ප්‍රේමවන්තියට දුරකථනය ඔස්සේ පෙම් වදන් තෙපලීම හෙවත් මල් කඩ කඩා විසි කිරීම නිසා.
' ඔන්න සුදෝ  අපි දැන් අඹේපුස්ස පහුකලා . නෑ  එතන මේ එක්ස්ප්‍රස් ට්‍රේන්  එක නවත්තන් නෑ . මම ඔයාට කලිමුත් කියල තියෙනවනේ. ( තරමක් සැර  වැර  ඇතිව ) ඔන්න  සුදෝ ආයෙනම්  මගෙන් අහන්න එපා අඹේපුස්සේ මේ කෝච්චිය නවත්තනවද කියල"
 

ඔන්න ඔහොම ඒ ලවුඩ්ස්පීකර් ප්‍රේමය රස විඳපු දවසට පස්සේ මට ආයේ චාන්ස් එකක් ලැබුනා පරණ පෙම්වතී ( නෑ  නෑ  අලුත් පෙම්වතී ) එක්ක කෝච්චියේ රාගම ඉඳන් පොල්ගහවෙලට යන්න . ඉතින් එක ළඟ වාඩි  වෙලා මේ ජෝඩුව යන්නේ මළ  ගෙදරක.  ඒක  වුනේ මෙහෙමයි. දැන් මාස තුනකට විතර කලින්  සෙනසුරාදා හවසක මම අපේ නෝනට මෙහෙම කිව්වා .
' මට හෙට මළ  ගෙදරක යන්න තියෙනවා . පොතුහැර . කෝච්චියේ යන්නයි ඉන්නේ.  ඒ ගමන් අපේ නෝනා කියනවා
' මටත් මළ  ගේක යන්න තියෙනවා. අපේ ඔෆිස් එකේ හිටි යාලුවෙකුගේ  තාත්තා නැති වෙලා ඒත්  ඔය පැත්තේම තමයි . ඔෆිස් එකෙන් වහනයක්  යනවත් කිව්වා .
'ඒත්  ඉතින් ඉරිදා විතරනේ අපට පොඩ්ඩක් නිදහසේ ඉන්න තියෙන්නේ ළමයි එක්ක වත්තේ පිටියේ ඇවිදලා එහෙම . හොඳයි නැද්ද ?

කලාතුරකින් අපි දෙන්නා එකම මතයකට එළඹුනා .
ඒත්  ඉරිදා උදේ නැගිට්ට ගමන් මට මොකක්ද වගේ. මේ ගමන නොගිහින් හොඳ නෑ . මම කලින් අසනීප වෙලා ඉද්දි බලන්න ගිය වෙලෙත් මේ බ්ලොග් යාලුවා ගැන හරි ලෙන්ගතුකමක් හිතුනා. මම මළ  ගෙදර ගිහින් එන්නම් .
"ඔයා කොහොමද යන්නේ"  නෝනා ඇහුවා
"කෝච්චියේ . රාගමට ගිහින් එතැනින් පොතුහැරට"
.
"අනේ එහෙනම් මාත් එන්නම්. අර මළ  ගෙදරත් ඔය කිට්ටුවමනේ ඇත්තේ. යන ගමන් කාගෙන් හරි ඇඩ්රස් එක අහමු".

හා හොඳයි කියලා දෙන්නත් එක්ක ළමයින්ගේ විරෝධය මැද උන් දෙන්නා ගෙදර දමලා පිටත් වුනා .
ඒ ගමනේදී තමයි අපි දෙන්නට එකට වාඩි  වෙලා යන්න සීට්  එකක් හම්බුනේ. කාලෙකින් නිදහසේ කතා කරන්න බැරි උනානේ, එක වහළ  යට උන්නට .
ඉතිං ..
"ඔයාගේ බ්ලොග් යාලුවා කොහෙද වැඩ කරන්නේ ? "
"එයා දැන් වැඩ නෑ  ආමි එකේ ඉඳලා පැන්ෂන් ගිය කෙනෙක්"
 .
"ඇත්තද අපේ යාලුවාගේ තාත්තත් ආමි එකේ ඉඳලා පැන්ෂන් ගිය කෙනෙක්"
.
ඈ  එතකොට එයාගේ නම මොකක්ද ? 
ගුණරත්නද  මොකක්ද වගේ නමක් .

"ඇත්තද... අපේ  යාලුවාගේ සර්නේම්  එකත් ගුණරත්නනේ "
අපි එහෙට මෙහෙට කෝල් දෙක තුනක් ගත්තා . බැලින්නම් වැඩේ හරි . අපි දෙන්නම යන්නේ එකම මළ  ගෙදර. යන්නේ කොහෙද කියලා අමතක වෙලා අපි දෙන්නටම මාර හිනා .
විචාරක උන්නැහැ තරහ වෙන එකක්  නෑ  අපි එයාගේ මළ  ගෙදර ආවේ  හිනා වෙවී කියල දැන  ගත්තානම් .
අනික කියන්න බැරි උනා අපි ගිය කෝච්චිය පොතුහැර නතර කරන්නේ නෑ  කියපු නිසා අපි එදා බැස්සේ පොල්ගහවෙලින් .
*****
තව කොටසක් තියෙනවා

සේයාරුව දෙව්නිගෙන්

35 comments:

  1. කියවන්න කිසි දෙයක් නැතුව හාමත් වෙලා..
    ඉන්දැද්දි දුටුවෙ මං තිලකසිත ලියවෙලා..

    ReplyDelete
    Replies
    1. මේකෙත් ඒ හැටි කියවන්න දෙයක් නෑ නේද ? ස්තුතියි සුරංග

      Delete
  2. කොහොම අමුනනවද මන්ද මේ ලියුම් නම්.... සුන්දර ලියවිල්ලක් සමඟ දේවල්...

    ReplyDelete
    Replies
    1. ලියාගෙන යනකොට කතා එක එක පෙළට මතක් වෙනවා ලිඛිතා . ස්තුතියි

      Delete
  3. අම්මප ගුණරත්න උන්නැහැ හිටිය නං තිලකසිත අහගන්නවා හොදවයින් දෙකක්. කංකානම් අඩය අපි වගේ හාල් කෑලි වලටත් තියෙනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔට්ටුයි උන්නැහැ තරහ වෙන් නෑ . ඕනනම් එහෙ ගිය දවසක අහමු

      Delete
  4. ගොඩ කාලෙකින් සටහනක්... හරිම අහබු සිදුවීමක්...
    ඊලඟ කොටසත් ඉක්මනින් ලියමු...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණී බ්ලොග් ලෝකෙන්ම ටිකක් දුරස් වෙලා හිටියේ. දැන් ආයේ ඒ සුන්දර ලෝකෙට ඇතුළු වෙමින් ..

      Delete
  5. මදැයි වෙලා තියෙන හරිය.
    මොනව උනත් කාලෙකිනං කංකානම් අඩේ ගලෝපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්‍රසන්න. සත්නපුරේ ආ දවසෙත් හිතා ගත්තා මොනා හරි කුරුටු ගැන ඕනි කියල . ඒත් වැඩේ දවසින් දවස කල් ගියා

      Delete
  6. අායෙ ලියල මරු මරු

    ReplyDelete
    Replies
    1. අපි ලියමු ආයෙමත් . ස්තුතියි මද්දා

      Delete
  7. පොල්ගහවෙල දුම්රිය ස්ථානය කාලයක් මටත් ඉතාම සුපුරුදු ස්ථානයක් වෙලා තිබ්බ. ඒ මම කෑගල්ලෙ ඉස්කෝලෙ යද්දි.

    එතකොට අපි හිටියෙ අනුරාජපුරේ...මාසෙකට වරක් වගෙ සති අන්තයක් අල්ලල මම ගෙදර යන්නෙ පොල්ගහවෙලට කෑගල්ලෙ ඉඳල බස් එකේ ඇවිල්ල පොල්ගහවෙලිං කොළඹ වව්නියාව රජරට රැජිණෙ නැඟල. අප්පච්චි හරි අපෙ ගෙදර හිටපු මාමා එනව මාව එක්ක යන්ට. මම එකල සුට්ටි එකා. තනියම යන්ට දෙන්නෙ නෑ.

    ඔය පොල්ගහවෙල ස්ටේෂන් එක අලුතින් හදපු අලුත. මහ විසාල පඩි පෙවල්වල් වලින් නැඟල උඩට ගිහාම ජනෙල් වලිං යටිං කෝච්චි යනව බලා උන්නැහැකි. රැජිණ එනකල් මාම පල්ලෙහා යකඩ බංකුවක ඉඳගෙන ඉද්දි මම කරන්නෙ ඒක.

    පොල්ගහවෙල මතක බොහොම අපූරුයි....

    ආ...ඒක නෙවෙයි කංකානං මොක හරි..ආයම මොකවත් ලියපු එක නම් කීයත් වටිනව....:)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල පොල්ගහවෙල ඉස්ටේෂම උඩින් ගුවන් පාලමක් ගහනවා . කෑගල්ල කුරුණෑගල බස් එහෙම ඉස්සරහට ඒකෙ උඩින් තමයි යන්නේ. ටින් ටින් ගැන රේල් ගේට්ටුව ගාව පැය ගානක් වේලෙන්න ඕනි නෑ .
      ලංකාවට ආවට පස්සේ ලිවිල්ල බොහොම අමාරුයි රවී . ජය !!

      Delete
  8. මේකනම් පට්ට පල් බොරු කතාවක් නේද අපි රැවටෙයි ඕවට

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ ඇත්තම කියනවානම් පොල්ගහවෙල ඉස්ටේෂමක් නෑ

      Delete
  9. මරු වැඩක්නේ වෙලා තියෙන්නේ... හෙහ් හෙහ් කෝච්චි ගමනක් ගිය කාලයක් මතක නෑ.. අඩය අයින් කර ගත්තු එකේ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. දැන්නම් මෙහෙ කෝච්චි වෙලාවට යනවා අපරාදේ කියන්න බෑ . ඔව් පැතුම් දිගටම ලියන්නයි හිතන් ඉන්නේ .

      Delete
  10. කාලෙකින් පොඩි නිවාඩුවක් ලැබුන නිසා "තිලක සිත" කියවන්න ගත්තා ආයෙත් පාරක්, ඒ අතරේ බ්ලොග් එක බලද්දී මෙන්න ආයෙත් "ජීවිතය කතන්දර "ලෙස ආයෙත් ලියන්න අරගෙන :)

    ReplyDelete
    Replies
    1. තිලකසිත දෙවන කොටස ලීවේ නෑ කියලා මේ සැරේ එක්සිබිෂන් ගිය වෙලා බැනුමුත් ඇහුවා. ඉතින් මේකවත් ලියන්න ඕනි. ජය වේවා !

      Delete
  11. හයියෝ... සිනා සිනා සිනා... නියම දෙන්නා.

    ReplyDelete
    Replies
    1. සිනා සී තර(හා) වෙන්න එපා ඕන් . ජය !

      Delete
  12. චිචාරකටත් හිනා යයි මේක දැක්කා නම්.

    ReplyDelete
    Replies
    1. අපිටත් හිනා යාවි ඩුඩ් මාමත් කංකානං අඩෙ ගලව ගත්තනං. කාලෙකින් දැක්කෙ උඹව. සන්තෝසයි

      Delete
    2. ඇත්ත කතාව දේශා . ඩුඩ් ගෙන් ලියවිල්ලක් එන්න ඕනි දැන් . /කාලෙකින් දැක්කෙ උඹව. සන්තෝසයි 2 /

      Delete
  13. ඔය පොල්ගහවෙල ස්ටේෂම දුම්රිය මාර්ගයේ වැදගත් බෙදීමක් තියෙනවා නේද ?කෝච්චිය උතුරට හා නුවරට යන්න බෙදෙන්නේ ඔතනින්ද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. ඔව් මෙතැනින් තමයි උතුරු මාර්ගෙයි උඩරට මාර්ගෙයි බෙදෙන්නේ මනෝජ් . මේක කාර්යබහුල දුම්රිය හන්දියක්. හන්දියේ කඩ හිටං තියෙනවා D

      Delete
  14. 1971 වෙනකන් හිටියේ පොල්ගහවෙල . තවම ආසයි යන්න.

    ReplyDelete
    Replies
    1. පොල්ගහවෙල අවට ප්‍රදේශය මෑත දශකවල වෙනස් වෙලා තියෙන්නේ ඉතාමත්ම අඩුවෙන්

      Delete
  15. අවසන් මොහොතේ හෝ මගේ පියාගේ අවමංගල උත්සවයට පැමිණීම පිලිබඳ ස්තූති වන්ත වෙමි. දේහය නිවසින් එළියට ගනු ලබන අවස්ථාවේ මා අවසන්වි ගෞරව දක්වන විට කිසිවෙකු මා නැගිට්ටවනවා මට අවසිහියෙන් මතකය. ඒ අන් කවුරුවත් නොව ඔබේ දයාබර බිරිඳය. එහිදී ඔබව අදුනවා දුන්නත් රූපකාය මතක තබා ගැනීමට මා අපොහොසත් වූයේ මා සිටි තත්වය නිසාය. ඔබ ඉටා පෙර දිනයක මගේ පියා ව්බලීමට පැමිණි බව මව කීවාය. කෙසේවෙතත් කාලය ශ්‍රමය කැපකරමින් පැමිණි ඔබට නැවතත් ස්තූතියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබේ පියාගේ වියෝව වේදනාබර දෙයක් වුනත් ඔහුගේ බ්ලොග් අඩවිය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට ඔබ ගත තීරණය ඔහුට කරන උපහාරයක් . දිගු ගමනක් යෑමට ලැබේවා . සුබ පැතුම් !

      Delete
  16. තිලක සිත.අම්මාත් තාත්තාත් දෙන්නා දියතලාවේ නගරයේදී දකින විට හරිම ගව්රවනිය හැගිමක් සිතට දනෙනවා.ඔබෙ කතා වල සදහන් සිද්දින් එකිනෙක මතක් වෙනවා.කාලය හොයාගෙන දිගටම ලියන්න.සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ලෙන්ගතු කොමෙන්ටුවක්. හැබැයි මේ ඉහත නමෙන්නම් මට ඔබව අඳුනා ගන්න බෑ. බොහොම ස්තුතියි

      Delete