Monday, October 31, 2016

රාලහාමිගේ ළිං අපලය

කාටූනයකි -ඩයිනසෝරයෙක්   දොඹකරයක් මෙන් යොදාගෙන විශාල ගලක් උස්සන විකට  රුපයක් 
වුරුදු තිහකට විතර එපිට  ගම්උදා  වැඩ තිබ්බ කාලෙ,රජරට  පැත්තේ  ගමක පොඩි පාරක්, කඩ පාලමක් හා නළලිං වගේකුයි හදන්න  පැවරිලා තියෙන්නේ මගේ වැඩිහිටි මිතුරෙක් උන දයාලාල්ට. මිනිහා ආණ්ඩුවේ සංස්ථාවක පළපුරුදු ටී ඕ මහත්තයෙක්. දැන් දයාලාල්  ඇතුළු පිරිස පරණ පොඩි ක්‍රේන් එකක්, ඩෝසරයක් , ට්‍රැක්ටරයක් අරකක් මේකක් අරන්  ගිහින් අදාළ පළාතේ නවාතැනක් හොයාගත්තා. ඒ පැන්ෂන් ගිය රජයේ සේවකයෙක් වෙච්ච රාලහාමිගේ ගෙදර.

මේ සුළු යන්ත්‍රෝපකරණ කීපය දාන්න  එයාගේ වත්තේ ඉඩ තිබ්බා . ඒ පැත්තේ හැටියට ගේ විශාලයි. රාලහාමිට ගෑණු දරුවෝ හිටියේ නැති නිසා ගෙදර පැත්තක් හත් අට දෙනෙක් වෙච්ච ඉදි කිරීම් නඩේට දෙන්න රාලහාමි බොහොම කැමැත්තෙන් එකඟ වුනා.

ඔන්න දැන් රාලහාමි කාන්ඩේ එක්ක හොඳ ගානට  සැට් වෙලා . මෙයා   වැඩ කරන තැනටත් එනවා .  උපදෙස් දෙනවා . දයාලාල්ටනම්  මරු ඇණයක් වෙලා . මහා බක පණ්ඩිතයෙක් .බලාගෙන ගියාම නොදන්නා දෙයක් නෑ .
ටික දවසක් ගියාම රාලහාමි දයාලාල්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.

‘මහත්තයෝ මට බෑ කියන්නේ නැතිව ක්‍රේන් එකෙන් පොඩි වැඩක් කරලා දෙන්න ඕනි. මේ විනාඩි පහක වැඩක්’.
' අප්පෝ දුර යන්න නැත්නම් කරලා දෙන්නම්. ' මොකක්ද වැඩේ ?
‘ඒක පස්සේ කියන්නනම් . මේ වත්තෙමයි වැඩේ තියෙන්නේ . සෙනසුරාදා හවස මහත්තයාල කලින්  වැඩ ඇරෙනවනේ. ලබන සතියේ සෙනසුරාදා හවස කරන්න ඇහැකිනම් ලොකු දෙයක් ‘.

‘හරි හරි’

‘ඔන්න දැන් දවස් ගෙවෙනවා. රාලහාමි කොහෙන්දෝ ගෝලයෝ දෙනනෙක් ගෙනල්ලා වත්තේ ලිඳක් හාරනවා’.
‘ඇයි රාලහාමි මේ තව ලිඳක් හාරන්නේ? .
‘අපේ ලිඳ ඉස්සරහ දොරට උතුරින්නේ තියෙන්නේ. ඔය පිහිටීම  හොඳ නෑ කිව්වා. ගෙට අපලයිලු .
ඉතින් මම මේ අලුත් ලිඳ හාරලා පරණ ලිඳ වහනවා’

ඉතින් ඉක්මනට දවස් ගතවුනා. ඊළඟ සතියේ සෙනසුරාදා උදා උනා
උදේම දයාලාල් ලඟට ආපු රාලහාමි මෙහෙම කීවා .
‘මහත්තයෝ අර වැඩේ අද හවස කර ගන්න ඕනි’
‘ හරි හරි අද අපි කලින් එනවා. ගෝලයොත්  ඉන්නවනේ’ .
‘මම කට්ටියටම සීල් බෝතලයක් ගෙනල්ලා තියන්නම්’,

ඔන්න දයාලලාල්ලා හවස එනකොට රාලහාමි තව ගමේ කීප දෙනකුත් එක්ක අලුතින් කපපු ලිඳ ගාව බොහොම උජාරුවෙන් පෙරමග බලා ඉන්නවා  .
දයාලාල්ගේ පරණ 31 ශ්‍රී කොළපාට  ජීප් එක නැවැත්තුව හැටියේම ලඟට දුවගෙන ගිය රාලහාමි.

‘මහත්තයෝ අපි ලැවරියා හැදුවා. කට්ටියම කාලා තේ බොන්න ‘ .
'ලැවරියා පස්සේ කන්න පුළුවන් රාලහාමි කියන්නකෝ අර  වැඩේ'
මෙන්නේකයි මහත්තයෝ
මම අලුත් ලිඳ කැපුවනේ.
ඔව් !
එතකොට අපි පාවිච්චි කරන ලිඳ ඒ හැටි පරණ නෑනේ
ඔව්!
ඒක හොඳ සිමෙන්තියෙන් බැඳලා අලුත් බොලොක්ක දණ්ඩක් හෙම දාලානේ  තියෙන්නේ
ඔව් !
එත් ඒ ලිඳ දැන් වහන්න වෙනවනේ
ඔව් රාලහාමි මට කලින් කිව්වනේ

"අන්නේකයි මහත්තයෝ . ඔය අලුත් ලිඳට ආයිමත්  වට බැමි හරස් ලී මොකුත් ඕනි නෑ. මහත්තයාට තියෙන්නේ ක්‍රේන්  එකේ ළමයට කියල පරණ ළිං බැම්ම  චුට්ටක් උස්සලා අලුත් ලිඳ උඩින් තියල දෙන එක "
‘මළ හත්තිලව්වයි  රාලහාමි ඒකනම් කීයටවත් කරන්න බෑ’
‘ඇයි මහත්තයෝ ඒ. මම මහත්තයාලට මෙච්චර උදව් කරලත්…? ‘
' ඒ හින්දා තමයි කරන්න බැරි. ඔය තියෙන්නේ කළුගලුයි, ගඩොලුයි බැඳලා  සිමෙන්ති කපරාරුව උඩින් ගහපු වට බැම්මක්. නැතිව කොන්ක්‍රීට් වලල්ලක් නෙවෙයි. උස්සපු ගමන් ගල් ගෙඩි ටික සී සී කඩ යයි’.

' මහත්තයෝ යමුකො බලන්න . මම යමක් කල්පනා නොකර කරන මිනිහෙක් නෙවෙයි.'
දයාලාල් ලිඳ ලඟට යනකොට දුටුවේ  අමුතුම වැඩක්. ලිඳ වටේ ගෝනි ඔතලා කඹ වලින් බැඳලා  . ඇතුලෙන් ලී තහඩු බැම්මට හේත්තු කරලා මුක්කු සිය ගානක් ගහලා ලිඳ ඇතුලෙන් හිර වෙන්න. හරියට බයිසිකල් රෝදෙක පෝක් කම්බි වගේ .
දයාලාල්   මේවා නිරීක්ෂණය කරනකම් රාලහාමි බලාගෙන හිටියේ කට කොනකට නගාගත් ආඩම්බර හිනාවකුත් එක්ක .
‘අනේ රාලහාමි මේ මොනවා කෙරුවත් මේ ගල් ගොඩයි සිමෙන්ති ගොඩයි උස්සන්න බෑ. කඩන් හැලෙනවා”

රාලහාමිට හොඳටම කේන්ති ගියා.
‘හරි එහෙමනම් මට මේක කරන්න දෙන්න. මට මහත්තයාලා ක්‍රේන් එකේ වැඩ කරන ගෝලයාට කියන්න මේ වැඩේට උදව් කරන්න කියල . මහත්තයා පොඩ්ඩක් කාමරේට ගිහින් හාන්සි වෙන්න’

' ඕනි මගුලක් කර ගන්නවා කියා මුණටම කියන්නට බැරි නිසා දයාලාල්  මුවින් නොබැන කාමරයට වැදී දොර වහ ගත්තේ ක්‍රේන් ඔපෙරේටර්ට රාලහාමි කියන දෙයක් කර දෙන්නැයි පවරමින් .
ක්‍රේන් එකකින් ලොකු ගෝවා ගෙඩියක් ඔසවන ඔවිනිගේ චිත්‍රයක්. මේ කතාවේ  රාළහාමි කමිසයකුත් නැතිව තොප්පියක් දාගෙන එක් පසෙක සිටී. ගෝලයකුද රුපයේ සිටී   
මේ වන විට රාලහාමිගේ ගෙදර ලිඳ උස්සා වෙනත් තැනක තියන ආරංචිය ලැබී ගමේ කොල්ලෝ කුරුට්ටෝ මුලින්ම මේ පැත්තට එමින් හිටියා . ඊළඟට උන්ගේ අක්කලා අයියලා අම්මලා තාත්තලා හා සීයලා ආච්චිලාද එන්නට වුනා. ටික වෙලාවකින් මහා දැවැන්ත ජන සන්නිපාතයකින්  රාලහාමිගේ වත්ත පිරී ඉතිරී ගියා.

මේ කලබගෑනිය ඇසී වසාගෙන සිටි කාමරෙන් මිදී   දයාලාල් එලියට ආවා.  ක්‍රේන් ඔපරේටර් උපනන්ද  සෙනග දැකීමෙන් ඇති වූ අමුතු කික් එක නිසා ක්‍රේන් හැසුරුම් කුටියට  නැගී   බූම් දණ්ඩ එහා මෙහා කරමින් පෙළහර පාමින් හිටියා  .

මේ අතරේ රාලහාමි දොඹකර  නියමකයෙකු වෙලා . සෙනග ඈතට කරලා උපදෙස් දුන්නා. ලිඳේ බෝලොක්කේ දාන හරස් යකඩ පොල්ලට කේබල්    කොක්ක දාගන්න උදව් වූනා . ඊට පස්සේ හස්ත සංඥා ලබා දුන්නා . සාමාන්‍යයෙන් මේ  කිසි විදිහකින් අවසර දෙන්න බැරි දෙයක්. පළපුරුද්දක් නැති කෙනෙකුට ඒ වගේ වගකීමක් දෙන්නේ නෑ. රස්සාව ගහලා යන වැඩ. දයාලාල් ගෙයි පිලිකන්නේ බිත්තියට හේත්තු  වෙලා උදාසීනව බලා හිටියා .

දැන් බොලොක්ක කඳේ දෙපැත්තට කේබල් එක හොඳට හිර වෙලා. රාලහාමි උනන්දුවෙන් හෑන්ඩ් සිග්නල් දෙනවා .
'උස්සන්න'
කොහේ කෙරෙන වැඩක්ද ? ලිඳක්  උස්සන්න පුලුවන්ද? මහදැනමුත්තාගේ කතා අහල තියෙන ගමේ  මිනිස්සු ඔච්චම් කසු කුසු ගානවා.
ඒත් එක පාරම ළිඳ සසලවෙලා මුලින් ඉදිරුනා වගේ උනා . දත් දොස්තරගේ   අඬුවට   බුරුල්වෙච්ච පොරෝ දතක් වගේ ක්‍රේන් කේබල් එකට පහලින්  ළිඳ දෙපැත්තට සැලුනා .
රාලහාමිගේ මූණේ මල් හිනා විසිරුණා  

ආඩම්බරෙන් වටේම බලල උපනන්දට  සංඥාව දුන්නා . ඇඟිල්ල උඩට වේගෙන්.
උපනන්ද ඉස්සුවා.

සලබල සලබල ගාල මහා හඬක් නගාගෙන ළිං බැම්මේ පස් ගල් ගඩොල් සිමෙන්ති සේරම ලිඳ ඇතුලට කඩා වැටුණා . බලද්දී ක්‍රේන් එකේ එල්ලී එල්ලී තිබ්බේ බොලොක්ක දණ්ඩ විතරයි.

සෙනග අතරෙන් හීනියට පටන් ගත්තු හූව මහා වේගෙන් ලියලා අවට කඳු වළලුවල වැදී දෝංකාර  දුන්නා . ඇට්ටර කොල්ලන්ගෙන් පටන් ගත්ත හූව, පොඩි උන්, මහාඋන් හා වයසක ඈයොත් අනුකරණය කරා.

සරම කැහැපොට ගහගත්තු  රාළහාමි බිම බලාගෙනම වෙඩිල්ල වගේ ගෙට රිංගුවා  
එදා සිට තවත් මාස  ගානක්  යනකන් ගමේ කාටවත් රාලහාමි දවල් කාලෙක මුලිච්චි වුනේ  නෑ.

තව සතියකින් විතර වැඩ ඉවර වෙලා ආපහු එන්න කලින්ග දයාලාල්ල ගෙවල්කුලී පියෙව්වෙ රාලහාමිගේ ලොකු පුතාට.
‘තාත්තට පොඩ්ඩක් කතා කරන්න අපි යනවා කියන්නවත්’ .
ඇතුලට ගියපු පුතා ආපහු ආවේ පණිවිඩයක් අරන් .

‘තාත්තා එන්න බෑ කියනවා. ඒත් මහත්තයාට කියන්න කිව්වා ආයේ මේ පැත්තෙන් ගියොත් අපේ ගෙදරත් ඇවිත් යන්න කියල’ .

**********************************
අර ලියන මහත්තයා ලිඳේ වැටිච්ච වෙලාවේ පොරොන්දු වුනානේ  අපේ  කාලයේ මහදැනමුත්තෙක් ගැන ලියනවා කියල . මේ තමයි ඒ කතාව . වෙච්ච පොරොන්දුවක් පහුවෙලා හරි ඉටු කරන්න ලැබීම සතුටක්
Figure : whendinosaursruledthemind.wordpress.com



Tuesday, October 25, 2016

ලාහෝර් පෙම්වතිය

ෆොටෝ :Hamariweb
මා සිටි කාමරයට පැමිණි ක්‍රිෂ්ණන් ඉතාම ශෝකී මුහුණින් මගේ අත මිරිකා ගත්තේය . ඔහුට  පිටුපසින් පැමිණියේ මොබින්ය. මුන් දෙන්නාම අධික ශෝකයකින් හෙම්බත් වී සිටියහ. එදා 2009 අවුරුද්දේ මාර්තු හතර වැනිදාය.මොබින් මා වැළඳගෙන‘ මගේ බලවත් ශෝකය, අපට සමා වෙයන්’ කීවේය.
මේ සිදුවන්නේ මොන හරුපයක්දැයි නොදන්නා මම තුෂ්නිම්බුතවී බලා සිටියෙමි. මගේ වික්ෂිප්ත මුහුණ දෙස බලාගෙන  ක්‍රිෂ්ණන් කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ලාහෝර්වලදී ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ක්‍රිකට් පිස්සන් දෙදෙනෙකු වන මේ දෙන්නා තමන්ගේ කණ්ඩායමටත් වඩා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ආදරය කලෝය.
ක්‍රිෂ්ණන් කේරළයකු වූ අතර මොබින් පකිස්තානයේ අති දුෂ්කර ගමක ඉපිද අහම්බෙන් නගරයට ආ අයෙකි.  මේ දෙදෙනා අඹ යහළුවන් වුහ. කෑවේ බිව්වේ ගමන් බිමන් ගියේ එකටමය.
එදා ඒ සිද්දියෙන් පසු ක්‍රිෂ්ණන්ටත් වඩා මොබින් මගේ හිතවතෙකු විය. සිය ප්‍රේම කතා, ගමේ කතා හා  පවුලේ කතා ඉඩක් ලැබුණු හැටියේ මා ඉදිරියේ තළුමරමින් කියෙව්වේ අංග චලනයෙන්ද රස එක්කාසු කරමිනි .

“උඹ දන්නවද අපේ ගම තියෙන්නේ අන්ත දුෂ්කර පැත්තක. ලාහෝර්වල ඉඳන් කිලෝමීටර් දෙසීයකට වැඩියි . ගමට ඇතුළු වෙන්න පුළුවන් එක තැනකින් විතරයි. අනිත් හැම පැත්තම ගිරි දුර්ග.
ගමට ඇතුලුවෙන තැන පොඩි අම්බලමක් තියෙනවා. මේකේ ඕනි වෙලාවක අලුත් වතුර සෙම්බුවක් මැටි කෝප්පෙකින් වහල තියෙනවා. පිටස්තරයෙකුට එන්න පුළුවන් අන්තිම පොයින්ට් එක තමයි මේ අම්බලම” .
“ඉතින් ගමට අමුත්තෙක්  අවොත් ?”
‘අම්බලමේ නවතින්න ඕනි. අම්බලමට මාසෙන් මාසෙට බාරකාරයෙක්  දානවා . ඔහු  වරින්වර ගිහින් වතුර පිංතාලිය පුරවන්න ඕනි අමුත්තෙක් ඇවිල්ලනම් කෑම බීම දීල එයා බැහැ දකින්න ආපු ගම්වැසියට පණිවිඩේ කියන්න ඕනි’ .

“ඊට පස්සේ ගමේ මනුස්සයා ඇවිල්ල අමුත්තා එක්කරගෙන යනවද ?”
“මොන . එයා ඇවිල්ල අම්බලමේ ඉඳන්ම කතාබහ කරලා අමුත්තා පිටත් කරන්න ඕනි . ගමට කිසිම පිටස්තරයෙකුට ඇතුළු වෙන්න බෑ .

එතකොට අල්ලපු ගම්වල නෑදෑයෝ යන්නේ එන්නේ නැද්ද .?
නෑ එහෙම නෑදෑකම් ගැන අහල නෑ .
ගමට  පොලිසියෙන් එහෙමවත්  එන්නේ නැද්ද ?
නෑ පොලිසියට එන්නත් බෑ . එන්න උත්සහ කරලත් නෑ .
මටනම් විශ්වාස කරන්නත් බෑ .

'උඹට මං කියන දේ විශ්වාස කරන්නම වෙනවා. මොකද මම උඹ අපේ ගමට එක්කරගෙන ගිහින් පෙන්නන්න කියලයැ '. කියමින් ඔහු සිනාසුනේය. ඉන්පසු ඔහු බැරෑරුම් මූණක් ඇතිව ටික වෙලාවක් කල්පනා කළේය .

‘දවසක් හරිම දුක හිතෙන දෙයක් සිද්ද වුනා. දැන්නම් මතක්වෙනකොටත්  හරි කාලකන්නි කමක් දැනෙනවා’

“කැමතිනම් කියපන්” . මම කිව්වෙමි .

‘මෙහෙමයි අපේ ගමේ ලස්සනම ලස්සන කෙල්ලෙක් හිටියා. මම ජීවිතේටම දැකලා නෑ ඒ වගේ ලස්සන වෙන කෙනෙක් . මේ කෙල්ල අල්ලපු ගමේ කොල්ලෙක් එක්ක යාලු වුනා ”.

“ඒක මහා පුදුම කතාවක්නේ” . මම කියද්දී ඔහු කිව්වේ “ඒක පුදුම ආදර කතාවක්” කියලාය  .
‘මුන් දෙන්නා කොහේදී මුණ ගැහුනද කොහේදී ආදරේ කරාද අර මනුස්සයා ආවේ ගියේ කොහොමද හිතා ගන්නත් බෑ’

“ඉතිං”

“ඉතින් මොකද කරන්නේ ගමේ  කොල්ලෝ ටික මග රැක ඉඳල මහා පාන්දරක කොල්ලට ගහල එලෙව්වා . එදායින් පස්සේ ආයේ පැත්ත පළාතේ ආවේ නෑ. මිනිහ අතුරුදහන් වුනා” . ඔහු සුසුමක් හෙලීය .

“මට දුක ඒ ගමනට මමත් ගිය එක” .

මම ගොළුව බලා හිටියෙමි.
ඉන් ටික දවසක් යනතුරු ඔහු මගේ මුහුණ බලා කතා කරේ නැත .ඔහු කීවේ ගෙතූ කතාවක් යැයි සිතන්නට මම උත්සහ කළෙමි. ඇරත් එහෙම හිතන එක ඔහු දකිද්දී  මට සහනයක් ගෙන දුන්නේය.

ඔහු පසුව මගේ හිත හදන්නට මෙන් මෙසේ කිව්වේය.
“අර ගමන මම ගියාට අපට ඉස්සරහින් තව කොල්ලෝ කට්ටියක්  ගියා . ඒගොල්ලෝ තමයි ගැහුවා කිව්වේ .ඇත්තද බොරුද මම  දන්නේ නෑ’

'ඒත් මට එක දෙයක් කියපන් ' මම මොබින්ගෙන් පසු දිනක ඇසුවෙමි.

"අර කෙල්ල ගැන උඹේ හිතෙත් ආදරයක් තිබ්බ නේද ?"

ඊට උත්තරයක්  නොදී මා මග හැර  ගිය මොබින් ඉන් සෑහෙන දිනකට පසුව මට මෙහෙම කිව්වේය  .
'සමහර විට අපේ ගමේ ගොඩක් කොල්ලෝ වගේ මමත් ඈට ආදරේ කරන්න ඇති. ඒත් අර සිද්දියෙන් පස්සේ මට ගම එපා වුනා . එහෙන් පිටමන් වෙලා ආවේත් ඒකමයි.

මගේ සිතේ  චිත්‍රපටියක මෙන් ඒ සිද්දියේ අතුරු කතා වරින්වර මැවී බොඳවී ගියේය . මමද  ඒ නොදන්නා දුර්ඝයකට වී වියෝ දුකින් වැලපෙන සුන්දර තරුණිය ගැන සිතන්නට සැහෙන කාලයක් වැය කරන්නට ඇත .සමහර විට මොබින්ටත් වඩා මම ඈට පෙම් කරා වන්නටද පුළුවන .

Monday, October 17, 2016

රස්සා දෙන ලියුම





මැති ඇමති ලියුමෙන්  රස්සා දීම  ගැන මේ දවස්වල රටේ උණුසුම් කතාබහක් යන නිසා මට පරණ කතා දෙකක් මතක් වුනා  . කලකට  එපිට අපේ ප්‍රොජෙක්ට් එකට  සැලසුම් ශිල්පියෙක් ගන්න ඉන්ටවිවී එකක් තිබ්බ . අයදුම්කරුවන් අතර සිටි තරුණ ගැටයෙක් වැඩේට  දක්ෂ වග තේරුනා . ඉන්ටවිව් එකේ අහපු ප්‍රශ්න සේරටම හොඳට උත්තර දුන්නා ,  කරන්න දුන්න  ආදර්ශයත්  හරියට කරා. ආයේ සහතික බලන්න දෙයක් නෑ  කොල්ලා පාස් . ඒත්  බොරුවට හරි සහතික බලන්න එපැයි  , මම කොලුවා ගෙනැවිත්  තිබු සහතික ගොනුව අරගෙන පෙරළමින් හිටියා. ඒ එක්කම ඔහු දිග ලියුම් කවරයකින් එලියට ගත්  සුදු පාට කඩදාසියක් මගේ අතේ තිබ්බා . බැලින්නම්  පළාතේ මන්ත්‍රී  වෙච්ච  උප ඇමතිනිය  දුන්නු ලියුමක්.

‘මොහු මගේ ප්‍රභල ආධාරකරුවෙකුගේ පුත්‍රයෙක් බැවින් ඔහුට සුදුසු රැකියාවක්  දෙන්න’

කොලුවත් තමන්ගේ  ටෙක් කෝස් , පරිගණක කෝස්  සේරගේම සහතික වලට වඩා විශ්වාසෙන් භක්තියෙන් දුන්නේ මේ ලියමන .


මම මෙහෙම කිව්වා .
‘මල්ලි උඹ පාස්  වෙලා හිටියේ මේ දැන් වෙනකන්. ඒත් මේ  ලියුමෙන් උඹ ෆේල් උනා’
කොලුවා මා දිහා   පුදුමෙන් බලනවා. මේක උනේ අර ඇමතිතුමාගේ කෙනෙක් ඇවිල්ලා අපේ ලොක්කාගෙන් වැඩට එන්  නැතිව පඩි ගන්න රස්සාවක් ඉල්ලපු  අලුත . ඒ නිසා කොම්පැනිය පැත්තෙන් මට තවත් දිරියක් ලැබිලා තිබ්බා .


මම තරුණයාට පැහැදිලි කළා ඔහුට තියෙන සුදුසුකම හා ඔහුගේ ආකල්ප හැදෙන්න ඕනි විදිහ . ආයෙමත් දේශපාලකයන්ගේ පස්සේ යන්නේ නැතිව තමන්ගේ ශක්තිය පෙන්නලා රස්සාවක් හොයා ගන්න තරමේ මනසක් හදල  මම ඔහුව  පිටත් කරලා ඇරියා .


ඊට දවස් කීපයකට පස්සේ මම මේ තරුණයාට වැඩට එන්න කියල ලියුමක් ඇරියේ ඇත්තටම එදා හිටි පිරිස අතරින් සුදුස්සා ඔහු වුන නිසා  . ඒත් ඔහු  ආවේ නෑ . මට හොඳ විශ්වාශයක් තිබ්බ ඔහුට හොඳ  ඉදිකිරීම් සමාගමක රස්සාවක් හිමිවෙන   බවට .


අනෙක්  සිද්දිය උනේ ඊටත් කලකට ඉස්සර මම අටේ පන්තියේ විතර ඉන්න කාලේ . පහේ පන්තියේදී දේශපාලනය ගැන උනන්දුව ඇතිවෙලා නැතිවෙලා  ගිහින් අවුරුදු තුනකට විතර පස්සේ .  


අලුත් ආණ්ඩුව මුලින් මුලින් පරණ පුරුදු පන්දම්වලට මන්ත්‍රී ලියුමට එහෙම පත්වීම් දිදී හිටියට අවුරුදු කීපයකින් ගුරුපත්වීම් දෙන්න තරග විබාගයක් පටන් ගත්තා . ගම්වල ඉංග්‍රීසි ගුරු හිඟය මග අරින්න සාපෙ ඉංග්‍රීසි වලට සම්මාන තියෙන හැමෝටම විබාගයට අයදුම් කරන්න අවසර ලැබුනා .


අපේ සිල්වා සර්ගේ ගෝලයෝ කීප දෙනෙක්ම මේ විබාගේ ලියල ගුරු පත්වීම් ගත්තා. මේ පිරිස අතර අපේ පොඩි අක්කාත් හිටියා .


මේ දවස්වලම  වාගේ කොළඹ  ඉඳන් ගමේ ආපු ආසනේ මන්ත්‍රී  ගමේ පක්ෂ ශාකාව අමතන්න ආවා . අපේ නෑදෑ ගෙදරක තිබ්බ මේ රැස්වීම බලන්න යන කොල්ලෝ කුරුට්ටෝ එක්ක මමත් එකතු වුනා .


ටික වෙලාවකින් ගමේ පාක්ෂිකයෝ නෝක්කාඩු හඬ මුසු  වාග් ප්‍රහාර තමන්ගේ මන්ත්‍රීතුමා  වෙත එල්ල කරන්න පටන් ගත්තා .
‘දැන් ඔබතුමා පත් වෙලා අවුරුදු තුනකටත් වැඩියි. පක්ෂේ වෙනුවෙන් නැහිච්ච මේ ගමේ එකෙකුටවත් තාම පොඩි රස්සාවක්වත් දුන්නේ නෑ’


ඒ අතරේ භක්තිමත් පාක්ෂිකයෙක් වෙචච බන්දු මෙහෙම කිව්වා .
'”ඔබ තුමාට අපේ මිනිස්සුන්ට තමයි රස්සාව දෙන්න බැරි අර අනිත් පැත්තට වැඩ කරපු අහවල් ඉස්කෝලේ මහත්තයාගේ දුවට අන්න ඊයේ පෙරේදා ඉංග්‍රීසි ගුරු පත්වීමක් දුන්නා’


මෙවර තමාගේ මුඛරි කටහඬ ඝෝෂාව පරයා අවදි කල මන්ත්‍රී මෙහෙම කිව්වා


‘මෙන්න මේකයි. මගේ කිසිම කැමැත්තක් නෑ ඒ පත්වීම දුන්නට’
මේ වචන දෙක තුනෙන්  සබාව සන්තෝෂයට පත් වුනා . ඝෝෂාව අඩු වුනා .


‘මෙන්න මේ කෙහෙම්මල් තරග  විබාගයක් අඳුන්නල දීලනේ. ඒකෙන්  පාස් වෙන උන්ට විතරක් ගුරු පත්වීම් දෙන්න කියල ඉහළම තැනකින් තමයි තීරණය කරලා තියෙන්නේ’


පාක්ෂිකයෝ අසරණව මන්ත්‍රීතුමා දිහා බලන් හිටියා


“හැබැයි මට එක දෙයක් කරන්න පුළුවන්”.


ඔහු හාත්පස බැලුවා. බාල මහලු වැඩිහිටි හැමෝම ඔහු දෙස බලාපොරෝත්තු  සහගත විමසිල්ලෙන් බලා හිටියා .


ඔහු බන්දු දෙස බලාගෙනම  මෙහෙම කිව්වා.


' මට හෙට ජනාධිපතිතුමා ගාවට ගිහින් අර විබාගෙයි . දීපු පත්වීමුයි අවලගු කරලා ආපහු විබාගෙ තියන්න කියල ඉල්ලන්න පුළුවන්’


සබාව නිස්සද්දයි .


‘ඔව් බන්දු  දැන් එතකොට තමුසෙට පුළුවන්නම් ඒකට ලියල අහවලාගේ දුවට වඩා ලකුණු ගන්නවා. අන්න එතකොට මම ඒ පත්වීම කපල තමුසෙට අරන් දෙන්නම් '
පස්සෙන් පස්සට ගොස් සෙනග අතරේ  වහන් වූ බන්දු  යලි ගුරු පත්වීම් ගැන කතා කලේ නෑ .


ලංකාවේ දේශපාලනය හා රස්සා සම්බන්ධ කතා ඉතා අප්‍රසන්නමුත්  ඉහත අවස්ථා දෙක මා ස්මරණය කරන්නේ අසතුටින් නෙවෙයි .

Image :123RF.com