Monday, January 19, 2015

ඈ සොයා ගියෙමි

දිග නිවාඩුවක් ඉවර වෙන්න තියෙන්නේ හෙටයි කියල මාසයක් තිස්සේ හිතේ පැසවූ ඇය දැකීමේ ආසාව ඉවුරු තලා ගියේය. අදත් බැරි වුනොත් ආයේ මාස ගානකට ඇයව මුණ ගැසෙන්නට ඉඩක් නොලැබෙන හින්දාම අපේ පුංචි කාරය  නුවර පාරේ ටිකක් දුර ගොස් අතුරු පාරකට හැරවුණේ හැන්දෑ අඳුර පාත් වෙද්දීමය.  

ශාකා ප්‍රශාකා විහිදී ගිය පටු මාවත මදින් මද වැහැරීගොස් මනස්කාන්ත වෙල් යායකට මතුවෙන්නට ඉඩ දුන්නේය.  ඒ අද්දර ගුරු පාර අසලට වී ඈ අප එන තුරු මග බලා සිටියාය . ජීවිතේ පළමුවරට හමු වන බලාපොරොත්තු පිරුණු මුහුණක් . මගේ හිතත් ගැහෙනවා. ඇගේ හිතත් ගැහෙනවා ඇති.

ඒ සුමිහිරි හමුවෙන් මදකට පසුව පිහිඹියා ගහමුල ලී බකුවට වී මම මහත්වූ සොම්නස්  සිතුවිල්ලෙන් වෙල් යාය දෙස බලා හිඳිමි. බිරින්දෑ  හා දරුවන් අලුත් අම්මා සමග ගෙතුළ බර කතාවකි.

මේ මා පොතක් ලියා නෙලා ගත් දයාබර සම්පතකි. මේ කියන්නේ මගේ පොතට අමිල සම්මානයක් තිලිණ කළ අලුත් අම්මා බලන්නට ගිය කතාවය. ඇය අප රටේ සිටි දක්ෂ ලේඛකයෙකු වූ  නැසී ගිය ලැන්ටිස් කරුණාතිලකයන්ගේ දයාබර බිරිඳයි. අප කාගේත් සුමිතුරෙකුවන ප්‍රවීණ කාටුන් හා ග්‍රැෆික් නිර්මාණශිල්පී දර්ශණ කරුණාතිලකගේ මවයි. සිය සැමියාගෙන් කවි ලියන්නට ඉගෙන ගත්  ඇය මීට ටික කලකට පෙර ලස්සන හුරු බුහුටි කවි පොතක් ලියා ඇත.

ඇය කියන අන්දමට සිය පුතු දර්ශන ඇයට 'තිලකසිත' පොතක් ගෙන දුන් දවසේ පොතේ මුල සිට එක දිගට කියවා අග පිටුවෙන් අවසන් නොකර නැවතත් දෙවනවර මුල සිට කියෙව්වාය , ඉන්පසු හිතට ආ දැනීම  මේ ලෙස කවි පෙළකින් ලිව්වාය .

මා වෙත ලැබුණු පොත කියවුවන්ගේ ප්‍රතිචාර අතර සිත්ගන්නාසුලුම නිර්මාණය එව්වේ ඇයයි . මගේ පොත නොසලකා හැර ඇයගේ කවි හැකියාව අගයන්නැයි  ඔබට ඇරයුම් කරමි. මේ සුන්දර ගැමි කිවිඳියක වූ ඛේමා කරුණාතිලක මාතාවගේ වචනය. මා ලද අමිල සම්මානය කිව්වේ මේ වචන ටිකටය.

නොබෝදා දොරට වැඩමවූ 'තිලකසිත'
කතා අහුර හෙළි කළ කතු තුමා       වෙත
ගෙතූ අපුරුව පසසන සිතැඟි                මත 
සුබාසිරි පතමි පළමුව සිතින්                ඉත

ලිපිනය නොමැතිකම පාඨක හිතට දුකක්
සිත තුළ පොරපිටියෙ නළියයි නිසැක යමක්
'දර්ශන' මගේ පුතු එතැනත් වෙයි           පිහිටක්
තිලක සිතට යොමුවිය විමසුම් දෑසක්

අටෙත් පහෙත් බාගයෙ ගනකමත් යෙදු
කවරෙත්  පියමනාපයි පිටු සමග   සුදු
'රිදී පහන් වැට' වෙත දෝතින්ම   පිදු
'තිලකයක්' තමයි පාඨකයනට     හුදු

පොත මම කියෙව්වෙමි අබිරුචියෙන් යුතුව
පවසන්නට හිතයි එහි ඇති        එකමුතුව
වැඩියෙන් කිවොත් ඇති අගයත් යයි         නැතිව
සිතමින් එවමි මුදු හසරැල්ලක් එතුව

සරල සුගම ආරක අනුගමනයක
බරට බරක් අත්දැකුමින් යුත්         සෙයක
වරෙක සිනා සයුරක ගිලෙනු දැක දැක
සුරැක තබයි පාඨක සිත කුතුහලෙක

අනැවැසි වචන නොව නිසි උපමා ඇත්තේ
ඇල්දෙනි කුඹුරු කෙත්වතු වැනුමින් යුත්තේ
නෙක  වයිවාරන්න සිතුවම් මැවෙයි    පුතේ
උපන් හපන්කම් තව වඩවන්න   පුතේ

පාසැල් සමය යලි මගෙ  සිහියට නැගෙන
යුගදිවියෙත් පවුල් පසුබිමෙහිත් තිබුන
රසමුසු එමෙන් සරු නෙක තොරතුරු රැගෙන
සපැමිණි සුබ ගමන පාඨකයනගෙ පින

මනාලිය සොයා පළමුව ගිය දවස
සිනා නගයි සැරසුව කොලරයෙ කමිස
අනාගත පැතුම් සරුකරගනු පිණිස
මොනා වුනත් 'චුලා' ඇත පසු නොබැස

මහගත්කරුද ජී. බී. මඩවල එස්ලා
සිහිපත් වුනා ඔබ නිමැවුම ගැන දොඩලා
විස්වාසයි යතොත් හැක ඉදිරිය අල්ලා
පැරදෙනවා 'කොණ්ඩයා' දෙවියන් පල්ලා

'පිත්තල ලාම්පුව' හඟවන ඉතිහාසේ
තහවුරු කරන  මිරිවැඩි දෙක ඇඳ අස්සේ
ගෙම්බා පෑගිලා පය ඉහළට ඉස්සේ
රැවුලක් නිසා කොලුවගෙ හදවත ගැස්සේ

'පිටසක්වල ජීවියා'  හොඳ කඩ ඉමකි
අර හිතවතිය පෑ සෙනෙහස රස විතකි
සෙලවෙන තවම බාර්ලි බෝතලය නොකී
'දෙව්නි' ගේ හපන්කම් පිටු පෙරලුවොත් දකී

'සුබ යස' නාටක'පේරාදෙනි වල' ද
ආදුරුසමත් ' තුන්වන දේශකයා' ද
දස විධ රස ගෙනෙයි හදවත් තුළට වැද

'සිල්වා සර්' 'දුයිෂෙන්' මයි ' ගුරු ගීතේ'
'ගුණේ උන්දැ' බත් මිස පොත් ලිව්වේ නැතේ
'මනප්පුවා' 'ගුල්ලා' 'හඳුනා' පුවතේ
වියත් බවේ සලකුණු රඳවයි ම'සිතේ

සිතුවම් සියල්ලම පණ ගහ ගහ තිබෙන
'දෙව්නි' 'ඔවිනි' දැරියන් පිනකියි හැඟෙන
වඩමින් නිතර දහිරිය තව දැන උගෙන
මැනවින් දැයට කිරුළක් වේවා! දෙදෙන

සතුටත් කදිම කවි සිතුවිල්ලෙක නම්මා
මිහිරක් ලදිමි දරු සුරතල් ලෙස   පෙම්මා
පැතුමත් ඔබට සරණයි සම්බුදු සම්මා
මා හිතවත් සොයුරු දර්ශනගේ අම්මා

චිත්‍රය ඇන්දේ ඔවිනි

Monday, January 12, 2015

ඇමතිතුමාගේ කෙනෙක්

හුගිය මාස දෙකක් තිස්සේ හිතට ආ දහසකුත් එකක් අදහස් හැම එකක්ම දේශපාලනික ඒවා වූ නිසා, ජීවන කතන්දර  ලියන්නට පමණක් වෙන් කර ගත්  මේ බ්ලොගයේ නොලියා සිටින්නට තීරණය කලෙමි.

ඒත් මේ දීර්ඝ නිහැඬියාව නිමා කරන්නටත් ඕනෑය . ඔන්න ඔහේ ඉස්සර දවසක අපේ සයිට් එකට ආ දේශපාලක ගෝලයෙක් ගැන ලියන්නට සිතුනි. මේ අලුතින් ඇමතිලා පත් වෙන කාලයයි . දෙපාර්තමේන්තු සංස්ථා, වරාය වගේ තැන්වල  වැඩක් ඇතත් නැතත් අලුත් ඇමතිවරුන්ගේ ගම්පලාත්වලින් ආ සේවකයන්ගෙන් පිරෙන්නේ මේ වගේ කාලවලය.

මීට  කාලයකට පෙර අපේ වැඩබිම් කන්තෝරුවට අලුතින් පත් වූ  ඇමතිගේ ලේකම් කෙනෙක් ආවේය. ඔහු අප වෙත කැඳවාගෙන ආවේ  අපේ සමාගමේ වැඩ කරමින් සිටි  සම්බන්ධීකරණ ලිපිකරු විසිනි.

'මේ ඇවිල්ලා ඉන්නේ අලුත් ඇමති තුමාගේ සම්බන්ධීකරණ ලේකම් මහත්තයා මෙහෙට්ට ඉන්ටවිව් එකකට. අද ප්‍රොජෙක්ට් මනේජෙර් මහත්තයා හම්බ වෙන්න ඇවිල්ලා'.

විදේශික ව්‍යාපෘති කලමනකාරයෙක් අපිට සිටි අතර ඔහුගේ කාමරය පිහිටියේ අප සිටි කන්තෝරුවේ කෙළවරකය .
ඇමති සම්බන්ධීකාරකයා මා ලඟට කැඳවාගෙන ආ වැඩබිම් ලිපිකරුවා කාරණය සැල කර සිටියේය.

'ඉතින් ගිහින් හම්බ වෙන්න අතන සෙක්‍රටරි ඉන්නවා එයාට කියන්න' . මම මගේ වැඩක් බලා ගන්නට හැරුනෙමි.

ඔහු ලේකම්වරිය  වෙත ගොස් මොනවාදෝ කුටු කුටු ගෑවේය
ලොක්කාගේ කාමරයේ දොර ඇරිණි .
ටිකකින් මට  ලොක්කාගෙන් ඇමතුමකි.
මා  ඔහුගේ  කාමරයට යන විට ලොක්කා  ඉදිරියේ ටයි පොල්ලක් දමාගෙන ඇටි  කෙහෙල් කෑ උගුඩුවෙකු සේ අමුත්තා  සිටියේය.

අපේ ලොක්කා  මට අමුත්තා පෙන්වමින්  කියා සිටියේ මේ ඇවිත් ඉන්නා පුද්ගලයා කියනා දේ ඔහුට තේරෙන් නැති නිසා මට පරිවර්තන සහයක් දෙන ලෙසය.

'හා හොඳයි' මමත් වාඩි වුනෙමි
ඔය මහත්මයාට මොකක්ද කියන්න තියෙන්නේ ?.

'මේකයි මිස්ටර් මාව මෙහෙට්ට එව්වේ ඇමති තුමා, මේ සුදු මහත්තයාට අපේ ඇමතිතුමා හම්බ වෙච්ච වෙලාවක මා ගැන කියලා තියෙනවා මට මෙතන රස්සාවක් තියෙනවා කියල' .

මම අපේ ලොක්කාට කතාව බස් පෙරලා  කිව්වෙමි

'ආ ඔව් මට ඔය පණිවිඩේ ලැබුනා හරි දැන් අපිට තියෙනවා මේ රජයේ ආයතන එක්ක සම්බන්දීකරනය කරලා මේ ව්‍යාපෘතියට අවශ්‍ය ලියකියවිලි හදන වැඩේ. හැබැයි මේ ඇවිත් ඉන්න මනුස්සයාට ඉංග්‍රීසි බෑනෙ ඔය ලියුමක්වත් ලියන්න'  .

මම අමුත්තාට ඒ බව කිව්වෙමි.
'ඉංග්‍රීසි ඕනි නෑ . මට ඕනි වැඩ ටික කියන්න මම එහෙට මෙහෙට කෝල් කරලා හරි කරලා
දෙන්නම්'.

මම අපේ ලොක්කාට එය කිව්වෙමි.

එතකොට පඩිය කීයක් ඕනිද කියන්න.

'මට පනස් දහකුයි වහනයකුයි'

මම ඒ බව ලොක්කාට කිව්වෙමි.

අපේ ලොක්කා මදක් කල්පනා කොට මෙහෙම කිව්වේය.

'හොඳයි කමක් නෑ . පඩියනම් ඒ ගාන දෙන්න පුළුවන් හැබැයි වහනයක්නම් නම් වෙනම දෙන්න බෑ , උදේට හවසට අපේ ට්‍රාන්ස්පෝර්ට්  බස් එකේ යන්න එන්න පුළුවන්නේ. මුළු සටාෆ් එකම එන්නේ එහෙමනේ'.

මම අමුත්තාට ලොක්කා කියූ දේ පැහැදිලි කර දුනිමි.

එවිට අමුත්තා උඩඟු ලෙස කිව්වේ මට වැඩට මෙහෙට එන්න බෑ .මට වාහනේ ඕනි ඇමතිතුමාගේ වැඩවලටත් එක්ක. .මොකද මම ඇමති තුමාගේ දිස්ත්‍රික්  කාර්යාලේ වැඩ තියෙනවා.
ඕනනම් මට පඩි ගන්න දවසට එන්න පුළුවන් .

මේ යකා එන්නේ මොකටදැයි මට තේරුණේය. සිංහල නොතේරෙන අපේ ලොක්කා කුහුල් මුහුණින් අමුත්තා හා මා දෙස බලා සිටී.

'මේ ඇවිත් ඉන්නේ වැඩ කරන් නැතිව පඩි ගන්න එක්කෙනෙක් එයා මෙහෙ එන් නැල්ලූ. පඩි දවසට එන්නම් කිව්වා'.

ලොක්කා ආයේ පාරක් මා කයු දේ කියන්නයි කිව්වේය. ඉන් පසුව බස බස ගා හිනා වෙන්නට පටන් ගත්තේය

'මට  ෂුවර් නෑ ,  මේ  මනුස්සයා විහිළු කරනවද කියල' හාහ් හාහ් හාහ්

අමුත්තා  පසු බා ගොස් ඇත්තේ අපේ ලොක්කාගේ නොනවතින  හිනාව දැකීමෙනි .

'ඇයි මොකුත් අවුලක්ද?' ඔහු අසයි , නෑ අපේ ප්‍රොජෙක්ට් මැනේජර් අහන්නේ  මෙහෙ එන් නැතිව වැඩ කරන්නේ කොහොමද , එහෙම වුනාම පඩි ගෙවන්නේ  කොහොමද කියල ?

නෑ නෑ  ඇමති තුමා මේ සේරම දන්නවා . ඇයි මෙයාට කියලා නැද්ද ?

මම එසැනින් පරිවර්තනය කලෙමි.

'ඇමති තුමත් දන්නවා කියන්නේ'

 හාහ් හාහ් හා .

ලොක්කා කාමරය පුපුරන තරම් වේගයෙන් හිනා වුනේය.

මාර විහිලු කාරයෙක්නේ . එතකොට ඇමති තුමා දන්නවා රටේ වැඩ නොකර පඩි ඉල්ලන මිනිස්ස්සු ඉන්නවා කියලා . ඔහු නොනවත්වා හිනා වෙයි .
ඊළඟට අසුනින් නැගී සිටි විදේශික ව්‍යාපෘති කළමනාකාරවරයා බඩ අල්ලාගෙන හිනැහෙමින් කාමරය පුරා ඇවිද්දේය.

 බොහෝ තෙදබල ඇත්තෙකු සේ මුලින් මෙහි පැමිණි අමුත්තා නිවට නියාලු ස්වරයෙන් මගෙන් මෙසේ අසයි .

'එහෙනම් මන් යන්ඩද කියලා අහන්න'

එක  දිගටම හිනා වීම නිසා හුස්ම හිර වී සිටි ලොක්කා ලඟට ගොස් මම මේ මිනිහා යන්ඩද අහනවා කියා කීවෙමි.

ලොක්කා එයටද සිනා සුනේය .

තවදුරටත් මෙහි  සිටීමෙන් පලක් නොවන බව තේරුම් ගත් ඇමති සම්බන්ධීකාරකයා හීන් සැරේ දොර ලඟට පා අද්දා  අද්දා ගොස් වැරෙන් දොර ඇරගෙන කාමරයෙන් පිට වුනේය.

ඇමති සම්බන්ධීකාරකයා ඉන්පසු කිසි දිනෙක අපේ ප්‍රොජෙක්ට් එක පැත්තේ ආවේ නැත .
ලොක්කානම් ඔහු ගැන මතක් කරමින් ඉන් පසුවද කිහිප දිනක්‌ම  මහා හයියෙන් හිනා උනේය.
විදේශික කුමන්ත්‍රණකරුවන් අපේ දේශීය ගති පැවතුම්වලට හිනා වෙන්නේ මේ විදිහටය .

Photo; pressmach.com