Tuesday, October 27, 2015

රා බීමේ ආදීනව හෙවත් ලියන මහත්තයාගේ අබග්ගය

මීදුම විඩෙන් විඩේ ඇවිත් සුදුපාට පුළුන් අලවලා පැලැස්තර දැම්මට අපේ ගමේ කඳුවල සීතලට නිල්වෙච්ච තැන් සේරම වහන්න කවදාවත් බැරි වුනා. මේ කඳු හෙල් බෑවුම් එපාවෙනකම් පිරිච්ච ගමේ දිගට දිගේ උසට උසේ කඳු  නගින, බහින ගල් පඩිපේලි හා සිමෙන්ති කොන්ක්‍රීට් පඩිපේලි තිබුනා.සමහර ඒවා සිරීපාදේ නගිද්දී හමුවෙන මහගිරිදඹේ තියෙන එව්වා වගේ . දිගම එක  තිබුනේ ගමේ කඩ මණ්ඩියේ ඉඳන් ගම පාවුලෙන් ගලාගෙන යන උමා ඔය නානතොට හා ඒදණ්ඩ ගාවට .

කඩ මන්ඩියේ ඉඳන් ඉහළට ආයෙත් බෑවුම ඇති තාර පාර. අපේ ආච්චිලා ගෙදර ලඟින් පටන් ගන්න තාර පාරේ ටිකක් මුදුනට නගිද්දී  යවුල ගහ හම්බ වෙනවා. අද්දා අද්දා කන්ද නැග්ගාම දියතලාව සානුව හම්බවෙනවා. කොටින්ම අපේ ගම තියෙන්නේ ගැඹුරු වළක් පතුලේ. කඳු මුදුනේ පිහිටි තැනිතලා සානුවේ සිට පාර දිගේත් බැහැගෙන බැහැගෙන ඇවිල්ලා ගල්පඩිපෙළ දිගේත්  බැහැලා ඉවර වුනාම හම්බ වෙන ඔයපාර අඩි  දාස් ගාණක් පාතින් තියෙන එකක් කියලයි හිතෙන්නේ. අපේ ගෙදර ආපු සමහර පාසැල් මිත්‍රයෝ සරසවි මිත්‍රයෝ කියන්නේ අපේ ගම තියෙන්නේ මුහුදු මට්ටමෙනුත් පහළ කියල. අපේ ඔය ඉවුරෙන් සිප්පි කටු හම්බ වෙනවා, ලිඳේ හාල්මැස්සෝ ඉන්නවා කියල කාඩ් හිට ගහලා තිබ්බා.

පන්සල තිබ්බේ ඔයට යන ගල්පඩි පාර  අතරමැද. ටී හන්දියකින් තවත් පඩිපෙළක්  විහිදුනා පන්සල දිහාවට, එතැනින් හැරිලා පන්සල පැත්තට යනකොට නුදුරේම තියෙන සිමෙන්ති බැම්මෙන් වටකරපු පංසලේ ලිඳ හම්බ වෙනවා. අඩි  පහළොවක් විතර ගැඹුරෙන් පිරිමි කෙනෙක්ගේ තන මට්ටමට එනකන් විතර නිල් කැටේට පිරිලා තිබ්බ ඒ ළිඳේ වතුර මිහිරි රහයි. (මේ ලිඳේ වතුර මට්ටම මෙහෙමයි කියල දැන ගත්ත දවස ගැන තමයි අද ලියන්න යන්නේ ) පඩිපෙළ නැගලා මහන්සිය නිවාගෙන මේ ලිඳෙන් වතුර ටිකක් බීලා යන ඇත්තොත් හිටියා .

පඩිපෙළ බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා  ඒදණ්ඩෙන්  එහා පැත්තට ගියාම හම්බ වෙන්නේ ගොවිතැන් බතින්, පැණි හකුරෙන් සරුසාර ගමක් . ඒ සුන්දර එහා ගම ලෝකයේම ප්‍රසිද්දයි කිතුල් රා හා කිතුල් හකුරු වලට. හකුරුනම් එහා ගමෙන් අපේ ගමට ගෙනත් විකුණන ඈයෝ හිටියා. රානම් කලගෙඩි අරන් ගිහිල්ලා පුරවාගෙන එන්න ඕනි . කලගෙඩි වෙනුවට බඩගෙඩි  උස්සගෙන බොහෝ දුර පාර ගෙවාගෙන මේ ගම්සබා පඩිපෙළ දිගේ බැහැලා හොඳ පෙණ  උතුරන කිතුල් රා බඩෙන් එකක් පුරවාගෙන ඒවා ඇඟ පුරා ලේ නහරවලත් දුවද්දී හති හල හලා  ඒ වුනත් තනියම හිනා වෙවී ඔය කන්ද ආපිට නගන වැඩිහිටි ඇත්තෝ අපි  ඕනි තරම් දැකලා තියෙනවා.

අපේ ගමටත් ඉහළින් තිබ්බ ගමකට ඈත පලාතකින් ආපු කොට මහත ලියන මහත්තයා මේ කිතුල් රා ගැන ආරංචි වෙලා තාරපාර දිගේත් පඩිපෙළ දිගේත් සන්තෝසෙන් රෝල් වෙමින් ඇවිත් අපේ අල්ලපු ගමට ඇදිලා ගිහින් තියෙන්නේ කාන්දමකට ඇදෙනව වගේ.

මේ  අවාසනාවන්ත දවසේ ලියන මහත්තයා ජෙමිස්ගේ  ගෙදරින් පෙණ උතුරද්දීම කිතුල් රා  බෝතල් දෙක තුනක් බීලා ඒදණ්ඩෙන්  ගඟේ මෙහා පැත්තටත් ආවා . කොච්චරවාත් කකුලේ එල්ලෙන කුඩෑල්ලන්  ගලවමින් උන්ට බැන වදිමින් ගල් පඩි පෙළ දිගේ මැද හරියක්  එනකොට වටින් ගොඩින් කළුවර වෙලා .
අනේ මනුස්සයට පාර  වැරදුනා පන්සල ලඟදි. මහා පාර පැත්තට එනවා වෙනුවට පන්සල පැත්තට  හැරුණා . වෙරි මරගාතේ ඒ පඩිපෙළ දිගේ විසිවී විසිවී යනකොට අයෙත් හන්දියක් .පාරවල් දෙකක්. ලිඳට හැරෙන සිමෙන්ති පඩි දෙකතුන හා පන්සලට දිවෙන පඩිපෙළ.

අහෝ! අපේ කතානායකයා එතැනින් හැරුනෙත් වැරදි පැත්තට. අඩි දෙක තුනක් තිබ්බම ටිකක් උස  සිමෙන්ති පඩියකුත් හම්බුනා. එතනින් එහාට මොකුත් පේන් නෑ .ඊළඟට ලියන මහත්තයා අඩිය තිබ්බේ කොහාටද දන්නවාද ?
ජබ්බොග් ! පන්සලේ ලිඳ ඇතුලට.

 'සුරා සොඩෙක්  ගිරි කුළකින් පාවී මහා පොළවට පාවී  එද්දී... ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කිව්වාලු' .

පිංවතුනි අපේ ලියන මහත්තයා සින්දු කිව්වේ නෑ . අඩිය වැරදිලා තමන් අගාධයකට වැටෙන්න යනවා කියලා තේරුම් ගත්තු ගමන් 'බුදු අම්මෝ මාව බේරා ගනියෝ' කියල මරහඬ තලාගෙනම ලිඳ ඇතුලේ පත බෑවුනා . ඒ මර ළතෝනිය සද්දෙන් මතුවෙලා  ලිඳ ඇතුලේ ගිලෙද්දී මහා  බියකරු දෝංකාරයක් නංවමින් හරියට රයිෆල් උණ්ඩයක් වගේ  ලිඳ වටේ කැරකි  කැරකී ඇවිත් උඩට මතු වුනා.

පන්සල්වත්තේ කෙළවරක කයිවාරු ගසමින් සිටි කොලු නඩේ අතරින් එකෙක් තමයි විමලේ . මිනිහට ඇහුනෙම තමන්ගේ ආතාගේ කට හඬ. මල් පුජා  කරන්න කලින් වට්ටියට පැන් ඉහින්න ලිඳ පැත්තට යන ආතා ලිඳට වැටෙන්න ඇති කියල හිතන් ගම දෙවනත් වෙන්න කෑ  ගැහුවා

 'අනේ මගේ රත්තරං ආතේ  උඹට  මොකද උනේ . ඇයි ලිඳ ලඟට ගියේ මේ කළුවරේඒ ඒ ඒ ඒ '
 කියා කෑ ගසමින් පොළොවේ පස් කන්නට වුනා.
මේ හඬ ඇහිච්ච ගමන් ගමෙන් බාගයක් විතර පන්සලට දුවගෙන අවා, පන්සලේ ඝන්ටාරේ නොකඩවා වැදුනා. මේ අතරේ පන්දම් ඉනිමන් කඹ එහෙම ගත්ත තවත් පිරිසක් ලිඳ වටා රොක් වුණා

හතර පස් දෙනෙක් ඇවිත් ගණකම කඹයක් බොලොක්ක පොල්ලේ ගැට ගැහුවා , උස ඉනිමගක් හා දිග උණ ලීයක් ලිඳට දැම්මා . දෙතුන් දෙනෙක් ලිඳට බැස්සා. තන මට්ටමට වතුරේ ගිලිලා බය බිරාන්තව හිටි මහත දෙහෙත පුද්ගලයාගේ ඉණ වටේ කඹේ  වෙළුනා . කවුද කින්ද මන්ද හොයන්නේ නැතුව වැර වීරියෙන් ඒ පතාක ශරීරය ලිඳෙන් ගොඩට ගත්තා.

විමලයා සැනසුම් සුසුම් හෙලුවේ සිය හීන්දෑරී ආතා වෙනුවට ලිඳෙන් ගොඩට ගත් මේ ජම්බෝල මුණයි කලගෙඩි බඩයි හිමි තැනැත්තා දුටුවාට පසුවයි. ප්‍රථමාධාර ක්‍රම මොකුත් නොදැන සිටි නිසා කවුරුවත් ලියන මහත්තයා බිම පෙරලගෙන බඩේ තිබ්බ රා කලගෙඩිය එලියට ගන්න මහන්සි වුන් නෑ . කොහොම වුනත් මිනිහා හොල්මන් වෙලා හිටියට හොඳ ශරීර සනීපයෙන් හිටියා . ටික වෙලාවක් බිම වාඩි  වෙලා ඉඳලා ගමේ කීප දෙනෙක්ගේ වාරුවෙන් ගෙදර යන්න පිටත් වුනා.

රා බීමේ ආදීනව ඔන්න ඔහොමයි!

අර මහදැනමුත්තා කාගේදෝ ඇඹේනියක් දුන්න තෙලිජ්ජ ටිකක් බීලා රහ වැටුනයින් පස්සේ ඒ දිව්‍ය  පානය හම්බුනේ කොතැනින්ද කියල ඇහුවම අනේ අර මායියා ඔලොක්කුවට කිවලු  අපේ වත්තේ ලිඳෙන් කියල. එදා රෑ  මහදැන මුත්තා ගෝලයෝ ටිකයි අලියෙකුයි අරං  ආවලු ලිඳ උස්සාගෙන යන්න. ලියන මහත්තයා පන්සලේ ලිඳට එබුනෙත් කවුරු හෝ දුන් ඒ වගේ ලණුවක් නිසාද කියලා අපේ අම්මයි තාත්තයි කතා වුනා.

මේ අතීත සිද්දියේ සමහර කෑලි මට අමතක වෙලා තිබ්බේ. සිකුරාදා නිවාඩු දවසේ අපේ තාත්තට කතා කරලා විස්තර මතක් කර ගත්තා. අපි දෙන්නා සැහෙන වෙලාවක් හිනා වුනා පරණ සිද්දි මතක් කරලා . හැබැයි ඉතින් ඕනිවට වඩා අතිශයෝක්තිය දාලා ලියන්න එපා කියල තාත්තා කිව්වේ මගේ ජම්ම පුරුද්ද අත අරින්න බෑ කියල දැන දැනමයි.

(මහදැනමුත්තා ලිඳ උස්සාගෙන යන්න හදපු කතාවේ නූතන වර්ෂන් එක තියෙනවා ලබන සතියේ ලියන්නම්.  මට හමු වූ අපුරු මැවිසුරන් ගැන ලියවෙන කතා පෙළට අයිති එකක් ඒක )

චිත්‍රය ඇන්දේ ඔවිනි 

89 comments:

  1. හොඳ වෙලාවට තන මට්ටමට විතරක් වතුර තිබුණේ...ඔය සිද්දියෙන් පස්සේ වෙන්න ඇති ලිකර් පර්මිට් දෙනකොට ළඟ පන්සලක් තියෙනවද කියලා හොයන්න ගත්තේ.

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන විදිහට ඒක කරල තියෙන්නේ සිල්වත් උපාසක මහත්වරු, සිල්වත් සාමනේර හිමිවරු පන්සිල් පද ගැන ප්‍රැක්ටිකල් අත්දැකීම් ගන්න උත්සාහ කරයි කියලයි.

      Delete
    2. අම්මපා වෙන්න ඇති....! මරු අදහස.

      Delete
    3. වසරේ හොඳම කොමෙන්ට් එක... - නිර්දෙශිත -

      Delete
    4. වසරේ හොඳම කොමෙන්ට් එක... - නිර්දෙශිත -(2)

      Delete
  2. ලියන මහත්තයාගේ අබග්ගය kiwwama mama hithuwe Thilaka sitha liyana mahaththayata wechcha අබග්ගය kiyala.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඇනෝ එහෙම ලියනවනම් අබග්ග ගොඩක් ගැන ලියන්න තියෙනවා

      Delete
  3. පන්සලක ගන්ටාරයක් තිබීමේ වැදගත්කම අද තමයි තේරුනේ... :)

    ReplyDelete
    Replies
    1. ඝණ්ටාර නැති වුනත් කමක් නෑ විමලයා වගේ එකෙක් තිස්සෙම පන්සල්වත්තේ තියාගන්න පුළුවන්නම්

      Delete
    2. මං කිව්වේ මේ කතාවේ ඉන්න විමලයා ගැන හොඳේ

      Delete
  4. තමන්ගෙ මට්ටම් තන් මට්ටම් කියන්නේ ඕකයි..... අයෙත්නම් රා බිලා ළිං ගාවින් යන්න එපා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වටිනා ආදර්ශ මේ කතාවෙන් ගන්න තියෙනවා

      Delete
  5. උඹලගේ ගම ගැන කියෙව්වාම ඒ ගමට ගිහින් ටික දවසක් ඉන්න ඇත්නම් කියල හිතුනා බන්. අපිට කොයින්ද එහම වාසනාවක්.. අහෝ ලියන තැන..තුවාල නැතුව ඇති නේද..

    ReplyDelete
    Replies
    1. අනේ බං මේ අවුරුදු තිහ හතළිහකට ඉස්සර තිබ්බ අපේ ගම. දැන් ඉතිරි වෙලා තියෙන්නේ කඳු පල්ලම් ටික විතරයි . දැන් කිතුලකට නගින්ට එකෙක් හොයාගන්ඩ නෑ . උන් කොහෙට හරි පිටමං වෙලා බ්ලොග් ලිය ලියා ඉන්නවා

      Delete
  6. තාම ගමේ හොඳ රා එහෙම තියනවැයි අයියේ? ;)

    ReplyDelete
    Replies
    1. අනේ මලේ අම්බලන්ගොඩයට කියපු කතාව තමයි කියන්න තියෙන්නේ. දැන් කොහෙද රා

      Delete
  7. පෝය දවසට (සු)රා ගැන හොඳ කතාවක්!

    ReplyDelete
  8. රට මැද්දේ උසතැන්වලත් සිප්පි කටු හම්බවෙන සමහරක් තැන් තියනවා නේද

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියාට කිව්වානම් ඒ ගැන පෝස්ට් එකක්ම ලියයි...එකක් තමයි අයියා බෙල්ලෝ කන්න හපනා..අනික, ඕමාන් වල ගොඩාක් කඳු මුදුන් වල සිප්පි, බෙලි කටු ඕනි තරම්....!

      Delete
    2. හැලපෙ අයියගෙ ගේ එලිපත්තෙනුත් සිප්පි කටු හම්බවෙනවලු.

      Delete
    3. චෙපාකි,මුන් දෙන්නවත් එක්කගෙන ආවනං සෙල්ලං කරන්න සිප්පි කටු ගොඩක් හොයල දෙන්න පුළුවනි.

      Delete
    4. බෙල්ලෝ කාලා සිප්පි කටුත් ඇහිඳන් එන්න හැලපෙලා ගෙදර යමු කට්ටියම

      Delete
  9. ඔය බෝතලේකින් හලා ගෙන බොනවට වඩා ඔය වගේ 'බාධක කම්කටොළු මැද' ධෛර්‍යවන්ත විදිහට හොයාගෙන ගිහින් සප්පායම් වෙන එකේ අමුතු සොමියක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලොකු පුතාට ඕඩර් දෙකක් දාලා තියෙන්නේ...
      එකක් අපි බදුරලි ආවාම බඩ කට පුරා උගුඩුවො වගේ බොන්න කිතුල් රා ලේස්ති කොරන්නය කියන එක..
      අනික..
      අර මාදින්නාගොඩ (යස නම නේ) තීන කිතුල් ගස් තුන දැන් ගැබ්බර වෙලා....ඒකට මොනා හරි කොරන්නය කියන එක ..එතකොට අඹයි කිතුලුයි එකට සප්පායං වෙතෑකි...!!!

      Delete
    2. ඔය දුෂ්කර ගමන අපිත් ගියා හිඳගල ගලහා පැත්තෙ පේරාදෙනි ඉන්නකොට

      Delete
  10. මට නම් වැඩියෙන් ම අල්ලලා ගියේ මෙන්න මේ ටික
    [මීදුම විඩෙන් විඩේ ඇවිත් සුදුපාට පුළුන් අලවලා පැලැස්තර දැම්මට අපේ ගමේ කඳුවල සීතලට නිල්වෙච්ච තැන් සේරම වහන්න කවදාවත් බැරි වුනා.]

    අපි එක සැරයක් හෝර්ටන් ප්ලේන්ස් ගිහින් එද්දී ඔය වගේ කඳු වලට පහතින් තියෙන ගමක් හරහා ආවා.. අන්තිමට තේ වතු යායක් මැදින් හෙන අමාරුවෙන් උඩට ආවේ.. අපිත් එක්ක ගිය පොඩි වෑන් එකකට කන්ද ඇද ගන්න හෙන අමාරු වුණා.. මට ඒ ගමේ නම මතක නෑ.. මේක කියවද්දී මතක් වුනේ ඒ ගම.. කඳු වලින් වට වෙච්ච වලක් වගේ තැනක තියෙන ෂෝක් ගමක්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අපේ ගමටත් ඔහිය පේනවා පැතුම්. ඒත් ඔය කියන ගමනම් නෙවෙයි

      Delete
  11. රසවත් කථාවක්.. සැහෙන්න රස වින්දා.. තාත්තා කිව්වා වගේ ආරළු .. බුරලූ ටිකක් වැඩිය වැටිලා තමයි නේද? .. ඒ නිසා වත්දෝ මන්ද තරමක් දිග වාක්‍ය ඛණ්ඩ ආපු තැන් කීපයකුත් ඇවිත් වාගේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ අරළු බුළු වැඩි වෙලා එහෙනම් . ඕකනේ මේ ළමයි කරන්නේ එපා කියන දේමනේ . බොහොම ස්තුතියි කවිඳු

      Delete
  12. "වතුර මට්ටම" නිසා ඔයින් බේරුනා මදැයි. වැස්සට ගම යටවෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. රාජ් අපේ ගම තුන් පැත්තකින් වට වෙලා තිබ්බට එක පැත්තකින් උමා ඔය ගලාගෙන යන මාතැටිල්ල පැත්තට විවෘතයි . ඒ නිසා වැස්සට යට වෙන්නේ නෑ .

      Delete
  13. පෝය දවස හිංදා වෙන්ටෑ මේ බණ ඉස්ටයිල් ලියවිල්ල....
    තාත්තා පුතණ්ඩියාගේ ලියවිල්ලේ තරම දැනං හිටිය එක හොඳා...!
    මීදුම් වලාකුලු හෙම ඇඟේ ගෑවුනා වගේ දැනුනා මට නම්...!

    ReplyDelete
    Replies
    1. මේ කාන්තාරේ ඉන්නකොට පෝය කියල තේරෙන් නෑ මචං . ඒ වුනාට පුරහඳ දැක්කා. ඒ නිසා තමයි මේ ඉස්ටයිල් එක නිරායාසයෙන්ම එන්න ඇත්තේ

      Delete
  14. ඉස්සර පොත් කියවනකොට පරිසර වර්ණනා අතෑරලා කියවන්නෙ.එච්චරටම කම්මැලියි.ටාසන් පොත් වල එහෙම පිටු ගණන් තියෙනවානෙ.ඒත් මේ වගේ පෝස්ටු ආසාවෙන් කියවන්න ඇහැකි.සුන්දරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි GL

      Delete
  15. ලියන මහත්තය ඊට පස්සෙ නොබී අතෑර්යෙ එහෙම නෑනෙ.. එහෙම වුණා නං වස පාඩුවක වෙන්නෙ.. හැක හැක...
    ඔය වගෙ රා ගුඩ්ඩො ඕන තරං ඉන්නව දැකල තියෙයි. හැබැයි මේ වගේ සිරාම බාල්දියක් පෙරළගත්ත- පංසලේ ලිදේ බාල්දියම පෙරළගත්ත රා ගුඩ්ඩෙක් ගැන ඇහුවමයි.. හිහි..
    තිලකෙ අය්යගෙ කතා ලියන ස්ටැයිල් එක තමා මට නං නැගලම යන්නෙ.. ආයෙ මොනවද කිතුල් හකුරක් එක්ක බෙලිමල් පොල්කට්ටක් බීව වගේ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ. ජය වේවා !

      Delete
  16. ගමනං සුන්දර ගමක් වගෙයි. ගමේ හිටිය මිනිස්සුත් සුන්දරයි වගෙයි. නැත්තං ඉතිං ලියන්නට උදේ වෙනකල් ළිඳේම ඉන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා අපි වගේ සුන්දර මිනිස්සු තමයි ගමේ හිටියේ

      Delete
  17. සුපර් කතාව තිලකයියේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  18. E peththe rawumak dala ra wadiyak ehema bilama thaw wisthara ahaganna hodayi. . 😊

    ReplyDelete
    Replies
    1. යමු යමු . හැබැයි රානම් පිටින් අරන් යන්න ඕනි

      Delete
  19. ගමෙි පරිසරය ගැන තියෙන වර්ණනාව නම් හරිම සුන්දරයි. කතාවත් හැමදාම වගේ අපූරුවට ලියලා තියෙනවා . දෙතුන් පාරක්ම කියවලා හොඳටම හිනාවුණා . තිලක සිතට මගේ ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙතූ . මේ වගේ ප්‍රතිචාර දැක්කම ලියපු දේ ගැන සතුටක් දැනෙනවා

      Delete
  20. //මීදුම විඩෙන් විඩේ ඇවිත් සුදුපාට පුළුන් අලවලා පැලැස්තර දැම්මට අපේ ගමේ කඳුවල සීතලට නිල්වෙච්ච තැන් සේරම වහන්න කවදාවත් බැරි වුනා.//

    හරිම ලස්සන කියමනක්.

    //අපේ ඔය ඉවුරෙන් සිප්පි කටු හම්බ වෙනවා, ලිඳේ හාල්මැස්සෝ ඉන්නවා කියල කාඩ් හිට ගහලා තිබ්බා.// :D:D

    රා කියන 'yucky ' බීම ගැන ලීවත්, අද කතාව හරිම රසයි. :P

    ReplyDelete
    Replies
    1. ඔයි yucky බීම හින්දම නේන්නම් මේ රසවත් සිද්දිය වුනේ . බොහොම ස්තුතියි පොඩ්ඩි

      Delete
  21. පින්තූරේ මරු... ඒකේ තියෙනවා අපේ ළකුණ..

    කතාව කියවගෙන යද්දි "සඳරූ" මතක් උනා...

    ReplyDelete
    Replies
    1. අපේ දෝනි බොහොම කාලෙකින් තමයි මගේ බ්ලොග් එකට චිත්‍රයක් ඇන්දේ . බොහොම ස්තුතියි මාතේ

      Delete
  22. කියවල ඇත්තටම රස වින්ද , බොහොම ස්තුතියි..

    ReplyDelete
  23. තවම රා තියෙනවද තිලක අයියෙ? ඇති ඔයින් ගියා.

    ReplyDelete
    Replies
    1. දැන් රා නෑ මල්ලි . එදා වාසනාවකට තමයි ලියන මහත්තයාට ලොකු අනතුරක් නොවුනේ. වතුර ගැඹුරු නොවුනත් ඒ වැටිච්ච වැටිල්ලට සිහි නැති වුනානම් එහෙම ..

      Delete
  24. ෂහ්. පන්සල් වල ඝණ්ඨාර වලිනුත් වැඩක් වෙනවා හෙනං. හැක්.. මරු කතාව

    ReplyDelete
    Replies
    1. ඝණ්ටාර හඬ ගම්වලදිනම් හොඳ සන්නිවේදන ක්‍රමයක්

      Delete
  25. කෝමත් ගමේ අයගෙ සමගිය ඒම වැඩි වෙන්නත් එක්ක හොද අවස්ථා ඔව්වා.......

    ReplyDelete
  26. නියම අතීතාවර්ජනයක්..... විමලයාගේ සීය ඔය සිද්ධියට පස්සේ මල් දොහොනේ කළේ ඒ ලිඳේ වතුරෙන්ම වෙන්ටැ... ලියන්නාට අනිවාර්යෙන් මුත්‍රා පිට වෙන්ට ඕනෑ පොතේ හැටියට ලිඳ ඇතුලෙදි...

    ReplyDelete
    Replies
    1. එව්වානම් ඒ හැටියටම වෙන්න ඇති . කොහොමත් ඔය ලිඳ ඉහින්ට ඇති පහුවදා

      Delete
  27. අපේ අම්මලගෙ ගම බෝතලෙත් ඔයවගේ කඳු වළල්ලකින් වටවෙලා අඩියෙ තියෙන ගමක්.හරිම සුන්දරයි.ඈත කඳු උඩින් ඉර එළිය ගලාගෙන එන හැටි එළිය නැතිවෙමින් යන හැටි එහෙම බලා ඉන්න ලස්සනයි තිලකේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ අවන්කවම මම කැමතියි ජීවිතේ අන්තිම කාලේ හරි අපේ ගමට වෙලා ඉන්න තියෙනවානම්

      Delete
  28. තාත්තට කීකරු වෙන්න ගිය හන්දද කොහෙද ඒක වෙනදා වහේ නෑ.
    ඒත් චූටි දෝණිගෙ චිත්‍රෙ වෙනදටත් වඩා ලස්සනයි. මට මතක් උනේ ප්‍රොෆ් දිසානායකගෙ කතන්දර පොත් වල, සිබිල් වෙත්තසින්හගෙ කතන්දර පොත්වල තියෙන චිත්‍ර

    ReplyDelete
    Replies
    1. තාත්තට කීකරු වුනේ නැති නිසයි මං හිතන්නේ එහෙම වෙන්න ඇත්තේ .බොහොම ස්තුතියි සඳ වියමන් . අර දිග නිවාඩුව ඉවර වෙලා වගේ

      Delete
  29. මං සා ගැන ලිව්වෙ මෙහෙම.http://yanhella.blogspot.com/2015/09/blog-post.html?m=1

    දියතලාව, හපුතලේ හරිය කොහොමත් මීදුම , සීතල පිරිච්චි තැනක්නෙ.

    ReplyDelete
    Replies
    1. ෂා මං ඒක කියෙව්වා . අපුරු පොස්ටුවක් ඒක

      Delete
  30. lassanai uncle......... lassssssssssanama lassanaiiiiiiiiii....

    eka athakata eda e liyana mahaththaya watuna ekath hondai... nattan ada mechchara lassana chithrayak balanna wennane..

    aththatama lassana chithrayak wage uncle.. e wachana puduma tharan lassanai.....

    thank u uncle....

    ReplyDelete
    Replies
    1. විබාගයට සුදානම් වෙමින් උනත් දුව මගේ බ්ලොග් එක කියවලා සටහනකුත් තැබුවාට ස්තුතියි . ජය !

      Delete
  31. මේ කතාවේ ලස්සන කොච්චරද කියනවනම් මට දැනුනේ මල්ගුඩි දවස කතාවක් බලනවා වගේ , ඒ තරම් සරල රසවත් බවක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන් . මල්ගුඩි දවසේ තියෙන සරල රසවත් කමින් සීයෙන් පංගුවක් හරි හරි මටත් දෙන්න පුලුවන්නම් ඒ වගේ සතුටක් තවත් නෑ

      Delete
  32. අන්න එදා ඉඳලා තමයි දරුවනේ ලිඳේ වතුරෙ පාටයි, සුවඳයි, රසයයි වෙනස් වුනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි ඩුඩ් මහත්තයෝ

      Delete
  33. හරිම රසවත් කතාවක්. ඉස්සර මයෙ පුංචි අම්මයි බාප්පයි හල්දුම්මුල්ලෙ ජීවත් උනා. ඒ පරිසරයේ සුන්දරත්වය කවදාවත් අමතක වෙන්නෙ නෑ තිලක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දි . හල්දුම්මුල්ල අපේ ගම්වලට ඒ හැටි දුරක් නෑ

      Delete
  34. ගම ගැන ලියලා තියන විස්තරය සිත් ඇද ගන්න විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.ලියන කෙනාගේ දක්ෂතාව අනුව තමයි කතාවක් කියවන්න හිතෙන්නෙ.කතාව මුල ඉදන් අගට යන කල් එක දිගට කියව‍ෙගෙන යන්න හිතෙනවා .
    ආයෙත් ලියන්න...ඔබට සුබපැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පියුමි . මේ ඉසව්වට ආ ඔබ ආදරෙන් පිලිගන්නවා

      Delete
  35. ලියන මහත්තයා වැරදිලා වැටුනා නෙමේ කවුද දන්නේ ලියන මහත්තයා හිතුවා කියලා රා බිලා ඉන්න වෙලාවේ සීතල වතුර පොඩ්ඩක් නා ගන්න කාරිය ලිඳට බැස්සද කියලාවත්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මනෝජ්. අර මහදැනමුත්තාගේ කතාව වගේ එකක් වෙන්ඩත් පුළුවන්

      Delete
  36. අපෝ ... මේ මනෝජ් හිතන දේවල්..නාන්න ළිඳට බැස්සා නම් ඒ මනුස්සයා බේරාගන්න කියලා කෑ ගහන්නේ නැහැනෙ....හී ...ඔයා රා බීවද (විහිලුවක් )

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ හීතලට කෑ ගැහුවද දන්නෙත් නෑ නේද ?

      Delete
  37. ඉතාම රසවත් බ්ලොග් එකක්. මම මෙහෙම කියන්නෙ පෝස්ට් එකක් දෙකක් කියවලා නෙමෙයි. අද තමයි මුලු බ්ලොග් එකම කියවලා ඉවර කරේ. පහුගිය මාසෙක විතර කාලයක් දිවා ආහාර වෙලාව ගෙවුණෙ තිලකසිතත් එක්ක. ඔබේ හැකියාව නම් ඉතාම අපූරුයි. මිනිස්සුන්ගෙ හදවතට කතාකරලා සියුම් තැන් උලුප්පලා අරගෙන මේ ලියන ලියවිල්ල අගය නොකරම බෑ. බ්ලොග් එක පුරාවට ඇස් කඳුලින් තෙත් උනේ වරක් දෙවරක් නෙමෙයි. 'තිලක සිත' බ්ලොග් අවකාශයට තිලකයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ(ලියු කොමෙන්ටුව) දැකුමෙන් මා පින් කළ බව දැනිණි . බොහොම ස්තුතියි පිණි බිඳු. මෙවැනි පිණි බිංදු හරි වටිනවා. රත්තරං වලටත් වඩා . ඔබට ජය !

      Delete
  38. ලියන මහත්තුරුන්ටමයි ඕව වෙන්නේ. නැත්ද මං අහන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අජිත් මහත්තයෝ

      Delete
  39. ඇත්තම කියන්නං ආයිබෝං....
    ඉස්ටැට්‌ එක නම් සුපිරියටම වැදුනා.... අගනම් ටිකක් විතර සුත්තුයි ඈ .......
    ජය ශ්‍රී .......

    ReplyDelete
    Replies
    1. ශාලිත ගොඩක් ස්තුතියි අගය කිරීමට . ඒ වගේ දෙගුණයක් ස්තුතියි මේ වගේ දැනෙන අඩුපාඩු පෙන්නුවාට. මම පිලිගන්නවා මේ පෝස්ට් එක මීට වඩා හොඳින් අවසන් කරන්න තිබුණු බව . ඉස්සරහට හදා ගන්න උත්සහ කරනවා . ජය !

      Delete
  40. රසවත් කතාවක්. තාත්ත එපා කිව්වට පොඩ්ඩක් අතිශයෝක්තියෙන් ලිව්වම රසය වැඩියි වගේම වාර්තාවෙන් එහා නිර්මාණාත්මක බවක් එකතු වෙනව. ඔහොමම යං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නොකී කතා . තාත්තා කිව්වට මමනම් අතිශයෝක්තිය ටිකක් දාලා තමයි ලියන්නේ. නැත්නම් අර කිව්වා වගේ මේවා හරිම බෝරිං වාර්තා විතරක් වෙනවා

      Delete
  41. රා බිව් මිනිහා මිට්ටෙක් නිසා තන මට්ටම පහල බැවින් නිකට මට්ටමට විතර වතුර තිබෙන්න ඇති නේද? අතිශෝක්තිය ටිකක් තිබෙන විට රසවත් බව වැඩියි.

    ReplyDelete