Monday, December 23, 2013

අමරා සමග ට්‍රිප් එකක්

පොඩි මාමාගේ පස් අවුරුද්දේ  දානයට ලක ලැහැසිති වී සුද්ද බුද්ද වූ මිදුල පුරා විසිරී තිබු කිරිවණා ගල් පතුරු  චිරි චිරි හඬින් දෙපැත්තට කරමින් ආ බයිසිකලය කරගස් කොටයට හේත්තු කළ  පියුම් බණ්ඩා මාමා කොට කාකි කලිසම ටිකක් හරි ගස්සා ගස්සා ආච්චී ලඟට ආවේය. අතේ උණ්ඩි කරගෙන හිටි කරදහි ගොන්න අස්සෙන් එකක් පෙන්වා  මෙසේ කිව්වේය.

'ආ ලොකු අම්මා මේක කාට හරි කියල අත්සන් කොරල ගන්න. ටැලිගිරම් එකක්!'.

ආච්චී වෙවුලන කටහඬින් 'ඇයි මයේ අප්පා කාට හරි කරදරයක් ' වෙලාද කියා ඇසුවාය .

තේ පඳුරු හා මල් පඳුරු උඩට රෙදි වේලෙන්නට දමමින් සිටි පුංචි අම්මා  දිග ගවුමේ තෙත අත්දෙක පිස දමමින් එතැනට දිව ආවාය. අත්සම ගසා ටෙලිගිරම් කොලය දිග හැර  කියෙව්වාය.

'හේමා කෝච්චියෙන් ගෙදර එනවා ඉස්ටේෂමට එන්න'

ටැලිගිරම්  එක එවල තිබේ කොළඹ මාමාය. 'අයියා  ගිය සතියේ ලියමනක් එවලා තිබ්බනේ හෙට සෙනසුරාදා කෝච්චියෙන් එනවා කියලා දානෙට වුවමනා අඩුම කුඩුමත් අරගෙන . එතකොට කවුද මේ හේමා කියන්නේ.? 'පුංචි අම්මාගේ   මුවින් එලියට දැමු ප්‍රශ්නයම  ආච්චිගේ මුනේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැතිවම ලියවිලා තිබුණි.

කවුද මේ හේමා ? කවුද මේ හේමා ? එදා දවස පුරා ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් හිත් හාර හාරා ඇවිස්සු ප්‍රශ්ණයයි.

පහුවදා ටව්මට ගොස් උඩහ කඩේ කාර් එක කතා කරගත් ආච්චී  මාවත් දමාගෙන සෙනසුරාදා හවස උඩරට  මැණිකේ  කෝච්චිය එන වෙලාවට ස්ටේෂමට ගියාය .සද්දෙට හුව දාගෙන ගස්සා ගස්සා පද්ද පද්දා ආ මැණිකේ කන් හිරි වට්ටන කීෂ් හඬක් සමග ඇදීවිත් යකඩ පීලි මත  නතර වෙන්නටත් ඉස්සර අපේ ඇස් කොච්චි පෙට්ටි සේරෝම පුරා දුවන්නට පටන් ගත්තේය.

බහින හැම පිරිමියාම හදිස්සියට අපිට පෙනුනේ මාමා වගේය , බහින හැම ගැහැනියම අපට සිතුනේ  පෙර නුදුටු   'හේමා'  වෙන්නැති කියලාය.

අන්තිමේ මාමා  ළඟටම එනකන්  අපි දැක්කේ නැත. අතින් කටින් බෑග් මලු උස්සාගෙන හිනා වෙවී ආ මාමා ඇහුවේ ' ඇයි අම්මා ආවේ පොඩි එකෙක් එව්වානම් හරිනේ කියලාය.

ඒ ප්‍රශ්නයට  පිළිවදන් නුදුන් ආච්චිගේ මුහුණ  නොඉවසිලිමත්ය. තාමත් වටපිට බලයි.
කාවද අම්මා හොයන්නේ ? මාමා ආච්චිගෙන් අසයි.

ආච්චි හීං සැකමුසු හඬකින් මෙසේ කීවාය.
මම එන්න නොවෙයි හිටියේ. ඒත් මේ දන්නේ නැති බවලතෙකුත් එනවා කියලා තිබ්බ නිසයි ආවේ.

දැන් ආච්චිගේ මුනේ තිබු ප්‍රශ්නාර්ථ ලකුණ මාමාගේ මුණට මාරු වෙලාය. ඇස් පුංචි කරගෙන උන්තැනම ඉද්දගැහුවා සේ කෙලින් හිටගත් මාමා ඒ කතාව මොකක්දැයි විමසන්නට විය. ආයේ කවුරුවත් ආවේ නැනේ , යන්කො එහෙනං ගෙදර.

කතාවක් බහක් නැතිව  තුන් දෙනා ගෙදර ගොස් බහිද්දී කවුරුත් බලා සිටියේ මාමා බහින තුරු නොව හේමා බහින තුරුය.

කවුරුත් බලාපොරොත්තු සිඳගෙන සිටිද්දී ' මේ මොන විකාරයක්දයි අසන්නාක් මෙන් මල පැන්න මුහුණින් අතට අහුවෙන බෑග් ටික දරාගත් මාමා කා සමගවත් වචනයක් නොදොඩා ගෙට රිංගා ගත්තේය.

නුරුස්නා මුහුණින් තේ කෝප්පය බී සන්සුන් වූ මාමාගේ අතට නොබෝ වෙලාවකින් ඔහුම එවූ ටැලිගිරම් එක පත්වුණි.

ටික වෙලාවක් ඒ දෙස බල සිටි මාමා හතර අතින් රජයමින් තිබු කුහුල මුසු මුස්පේන්තු අඳුර දෙබෑ කරමින් කොක් හඬලන්නට විය.

අනේ අම්මේ මුන්ට පිස්සු. මේ කිරි හට්ටි ටිකයි පළතුරු ටිකයි උස්සගෙන තනියම එන්න බැරි හින්දයි මම ඉස්ටේෂමට කවුරු හරි ගෙන්නා ගන්නා ටැලී ගිරම් එකක් ගැහුවේ. මදැයි .
ඔහු ආයෙමත් සිනහසේද්දී  ඔහු ලඟට කිට්ටුවන්නට පසුබාමින් මදක් ඈතට වී සිටි  කීප දෙනා ඔහු වටකොටගෙන ඇවිත් හිට ගත්හ.

'ඒත් ඔවුන්ගේ මුණුවල තිබු  ප්‍රශ්නාර්ථ ලකුණ පුංචි වෙලා තිබුනා මිස අතුරුදන්ව නොතිබිණි.

ඉතින් මම එව්වේ' හෙට මා කෝච්චියෙන් ගෙදර එනවා කියලා ' මුන් හෙට මා කියන එක හේමා කියල කෙටි කරගෙන .
එවර හිනාවට මාමාත් සමග ආච්චීත් අනිත් සියල්ලෝම එක්කාසු වුනෝය.

හාහ් හාහ් හා හෙහ් හෙහ් හේ  හොලො හොලො හොලො

මේ කතාව සිද්ද වී අවිරුදු දහයකට විතර පසු අපේ යාලුවෙකුගේ ගෙදර තවත් මේ හා සමාන දෙයක් සිද්ද වෙමින් තිබුණි. නිවාඩු මාසයේ ලෝකාන්තය බලන්නට පන්තියේ උන් ප්ලැන ගසා කතා කරගත් මාසයේ තුන්වන සෙනසුරාදාට දවසක් තිබියදී මගේ මිත්‍රයාගේ ගෙදරට ටැලිගිරම් එකක් ලැබුනේය. මේ වනවිට මිතුරාගේ අයියා ලෝකාන්තයේ යන බෑග් , උෂ්ණ ඇඳුම් , මප්‍රල්, කැප් තොප්පි, මගට කන ජාති ලැස්ති කරමින් සිටියේය.

ටැලිගිරම් එක කඩුවේ අම්මාය.

අම්මාගේ මුහුණ අබ නොවෙයි කුරහන් අහුරක් දැම්මත් පුපුරන මට්ටමට රත්වී තිබිණි. විටෙක එය රතු පාට වී ඊළඟට කළු පාට වී කේන්තිය වචනවලට දොරේ ගැලුවේය.

'ලොකුපුතා මන් හිතුවේ නෑ  උඹල  මේ විදිහේ නැහැදිච්ච කොල්ලෝ ටිකක් කියලා. මම උඹට ට්‍රිප් නෙවෙයි මේ ගෙදරින් අඩියක් එලියට තියන්න දෙන් නෑ!
ඇයි ඇයි අම්මේ . ලොක්කා කලබල වෙලාය.
කාත් එක්කද උඹල හෙට ලෝකාන්තේ යන්න හිටියේ. කිව්වේ පන්තියේ පිරිමි ළමයි විතරයි යන්නේ කියලනේ. කව්ද එතකොට අමරා කියන්නේ?

ආයෙමත් ප්‍රශ්නයක්! කව්ද මේ අමරා? කව්ද මේ අමරා.?
අපේ යාළුවාගේ අයියාට ටැලිගිරම් එක ලැබී තිබුනේ ' සෙනසුරාදා උදේ  අමරාවත් රැගෙන' ස්ටේෂමට එන්න කියලාය

මේ අවනඩුව නිසා බොහෝ හිත් වේදනා වින්දා  මදිවාට ට්‍රිප් එක යන්නටද බැරි උණු අපේ මනුස්සය පසුව දැනගෙන තිබුනේ ඔහුට ටැලීගිරම් එක එවූ මිතුරා ලියා තුබුණේ කැමරාවත් රැගෙන ස්ටේෂමට එන ලෙසය.

හෙට මා හේමා වුනු සේම කැමරාව අමරාව වී ඇත. මේ කොයි හැටි උනත් ශතවර්ෂයක් පමණ අපේ ගම් දනවුවලට දුක සතුට දෙකම මුසු හදිස්සි පණිවිඩ ගෙන ආවේ ටැලිගිරම් සේවයයි.

අපේ ගම්වලට නම් වැඩිපුරම ලැබුනේ කාගේ හෝ මරණයක් පිලිබඳ පණිවිඩයකි. ඒත් මේ සංසාරේ අනියත බව කියමින් පණිවිඩ පිට පණිවිඩ තැන තැනට බෙදා දුන් ටැලීගිරම් උන්නැහැද පසු ගියදා දෑස පියා ගත්තේය.

වෙනත් වචන වලින් කියනවානම් පහුගිය ඔක්තෝබර් පළමුවැනිදා පටන් ලංකාවේ ටැලිගිරම්  සේවාව නතර කර දමුනේය.

අනිච්චාවත සංඛාරා !!



( සේයාරුව දෙව්නිගෙන් )

Sunday, December 15, 2013

මට ගඟක් තිබුනා


මට ඔයක් තිබුනා
ඉස්කෝලේ ඇරිලා
ආපු හැටියේම
බත් ටික එහෙ මෙහෙන් අතගා
රැලේ උන්  එක්ක දුවගොස්
දියබුන් ගගහ පීනපු

රෙදි සෝදන ලියෝ
කිචි බිචිය අතරෙම
කාගේ දරුවත් එකයි
මෙහෙ වරෙන් කියලා
ඇඟ පුරා සබන් ගා
නාවලා පිහිදාපු

වේලෙන්න වෙලා නැති
කලිසම තෙතයි තාමත්
ඉලාස්ටික් පටිය ඇද
ඔලුවේ දමාගෙන
අඩක් හෙලිකොට්ටෙන්
හු තිය තියා නියර පිට
වැටි වැටී ගෙදර එනකොට
ආයෙමත් මඩකරි

හෝදලා ගෙට අරං
හීල්බත් කවලා
ලාම්පු පත්තු කෙරුවාම
වෑල්ව් රේඩියෝවෙන්
'ලන්දේසි දුපත'
අක්කාට තුරුළුවී
අසා ගත් කයි කතන්දර

හීනෙන් ආයිමත් ගඟබඩ
සිරීපාදේ යන
කහපාට සමනල්ලු
දේදුනු පියාපත්
සලන බත්කුරු පෙළ
හීන් බෝවිටියා ගහ
උඩ හිටපු කුරුල්ලා

පාන්දර හුළං එන්නට
ජනේලය ඇරියාම
අරපේන  ඉදල්ගස්හින්න
හරි පුදුම ඉස්ටේෂම
වහලේ ඒ පැත්තේ වතුර
වලවේ ගඟට එක්වෙන
මේ පැත්තේ වතුර සේරම
එක්වේවි මගේ  ගඟට
තිරිකුනාමලේ ගොස්
මුහුදු යන්නට හිතං

වයස විස්සක් වෙද්දී
මට  ආයේ හම්බුනා
මගෙ ඔයම ගඟක්වී.
දැන් ලොකුයි හරි  හැඩයි
දෑල උණපඳුරු ටික
නැමී නැමී හාදු දෙයි

හංගගෙන අපෙ රහස
අක්බාර් පාලමින් එගොඩට
පියමනින වෙලාවක
බැචෙක් ඇහුවා මගෙන්
මොනොවා තිබිලාද බොට
ඔය තරම් ආඩම්බර ?

ඇඳුම් පිළිවෙලක් නෑ
කෙල්ලෝ ඒ හැටි බලන් නෑ
පස්ට් ක්ලාස් මුකුත් නෑ
තේ වතු වාහන මන්දිර
ෆැක්ටරි මුකුත් නැති උඹ
ඇයි ඔය තරම් ගෙම්බර?

මම ඉතින් හිනැහුනා
බල බලා ගඟ දිහා
හවස ගැටඹේදී හමුවෙලා
ටිකක් වටපිට ඇවිදලා
කතා කර කර ඉමුද කියලා
ඇහුවා මගෙ ගඟ කොඳුරලා


(සටහන: මතක කතන්දරයක් ලියන්න ගත්තාම මට හිතුනා මේ විදිහට ලියන්න ඕනි කියලා. එත් මේක කිසම පිලිවෙළකට , විරිතකට ලියන්න මම දන්නේ නෑ. )

චිත්‍රය ඇන්දේ  ඔවිනි 

Monday, December 9, 2013

ඉලෙක්ට්‍රෝනික මැ(සි)විල්ල

ගුල්ලා, හඳුනා හා මනප්පු යනුවෙන් අපේ ආදරණීය සරසවි මිතුරෝ   තුන්දෙනෙක් සිටියෝය. මේ තුන් දෙනාම ඕනෑම සොඳුරු කල්ලිගැසීමක පොදු සාධකයක් වුනු අතර එකෙක්ගෙන්වත් කටින් වචනයක් පිටවුයේ ඉතා කලාතුරකිනි. ඉතා තීක්ෂණ සවන් දෙන්නෙකු හා අමුතු පරිණත අද උදහස්  තියෙන පුද්ගලයෙකු වූ ගුල්ලා ඔහුගේ නිරීක්ෂණ හා නිගමන ගැන කෙටි වචන ස්වල්පයක් කතා කරන්නේ දවස අවසානයේය. සමහර විට කතා කරන්නෙම නැත. හඳුනා සාපේක්ෂව ඊට වඩා වචන පිට කරයි. ඒවා  සියුම් උපහාසය මුසු රසවත් වදන්ය. මනප්පුවානම් කතා කරන්නෙම නැති ගානය. එත් ලස්සන හිනාවකින් නිරන්තරයෙන් පිරී තුබූ උගේ මුහුණ හා ඇස්දෙක දකින්නට නැති මිතුරු සමාගමක් හරියට හිල නැති උළුඳු වඩයක් වගේය.

දවසක්  මනප්පුවා හඳුනා  හා ගුල්ලා එක්කාසු වී ඒ උන් තුන් දෙනාම පමණක් සිරීපාදේ බලන්න වන්දනා ගමනක් ගියෝය. සමන් දෙයිහාමුදුරුවනේ කතා කරන්නෙම නැති තුන් දෙනෙක්ගේ ට්‍රිප් එක කොහොම තියෙන්නට ඇත්ද? උන් උන්ගේම කල්පනා ලෝකවල ගැලෙමින් ගමන් ගිහින් ආවා උනාට උන් එද්දී ගමන් විස්තරේ බලා හිටියා වගේ කියන්නට අපේ බොහෝ දෙනෙක් සමත්ව සිටියහ. එවන් මඩ විස්තර අතරින් හොඳම එක මෙහෙමය.

තුන්දෙනාම  නල්ලතන්නියට යනකම්ම කරබාගෙනම ගියෝය. එතෙන්දී ගුල්ලා අනිත් දෙදෙනා අමතා 'එහෙනම් නගිමු' නේද කියා ඇසුවේය. අනිද් දෙන්නම හ්ම් කිව්වෝය. සීත ගඟුල හරියේදී හඳුනා කිව්වේ 'අප්පේ මාර කන්ද නේද' කියලාය. එයටත් අනිත් දෙන්නා හ්ම් කිව්වෝය. පහුවදා පාන්දර සිරීපාදය වැඳපුදාගෙන ඉර සේවය එහෙම බලා අහවර වූ පසු මනප්පුවා 'බහිමු නේද' ඇසුවේය. අනිත් උන් දෙන්නා හ්ම් කිව්වෝය. මේ දවස් දෙකේ මුළු ගමනේම කෙරුණු කතාබහ හැටියට වාර්තාගත වුයේ මේ වචන ටික විතරය.

වැඩිපුර කතා බහ නොකලාට අපේ සුමිතුරන් තිදෙනාගේ  තිබුණු දයාබරම ගති ගුණනම අනුන්ට ඇහුන්කම් දීමත් නිරතුරු  මිතුරන් ඇසුරු කිරීමත්ය .මේ තුන් දෙනාම අද වන විට  වගකිවයුතු නිලතල දරමින් කතාබහින් සිරිසාර වූ පවුල් ජීවිත ගෙවමින් ජීවත් වෙන හැටි බලන්න ලස්සනය.

මම දවසක් වෙනත් රටක සිට ලංකාවට එන්නට ගුවන් යානයේ වාඩිවී සිටිද්දී මා ළඟ සිටි මැදිවියේ නෝනා මහත්මිය  හෙමින් හෙමින් මා හා කතාවට වැටුනාය. ටික වේලාවකදී අප තරමක් කෙටියෙන් දැන හඳුනා ගත්තාට පසු එකිනෙකා කෙරෙහි මිත්‍රශීලී විශ්වාසයක් ඇති වුවාට පසු ඇය ඇසුවේ 'මම  ටිකක් වැඩියෙන් කතා කලාට කමක් නැද්ද මට සෑහෙන දවසකින් කාත් එක්කවත් කතා කරන බැරි උනා' කියලාය.
.
මට නිදහසේ මනෝපාරක්   ගහගෙන යන්නට  තිබුනානම් හොඳයි කියා  මුලදී සිතුනත් ඇය එම ඉල්ලීම කළ  ආචාරශීලී විලාශය නිසා මම ඊට ගරුසර ලෙස කැමැත්ත පළ කලෙමි. ඇය කතා කලේ ඇගේ කුඩා කාලය ගැනමය.ගෙදර කුස්සියේ බංකුවල වාඩී වී රටේ නැති දේවල් කතා කරමින් කෑම කාපු විදිහ ගැන, ඉපනැලි ගොයමේ සරුංගල් ඇරිය හැටි,ලිඳෙන් නාපු හැටි, නෑ ගෙවල් වල ගිය විස්තර මහා ගොඩක් කියද්දී මමද හුම්මිට් තියමින් අසා සිටියෙමි.

ඊළඟට ඇයගේ වත්මන් ජීවිත කතාව දිග හැරියාය. ස්කෑන්ඩිනේවියානු රටක සිය සැමියාද දරු දෙදෙනාද සමග පදිංචිව සිටින ඇය කීවේ 'අපි හතර දෙනා හොඳ සමගියෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඒත් කතා බහ කරන්නේ කලාතුරකින්. අපි ලැප්ටොප් හරි පොතක් හරි දිග අරගෙන දවසම ගෙදර හිටියත් වචනයක්වත් කතා නොකරපු දවස් ඕනා තරම් තියෙනවා . අනේ අපේ ගම ගැන ඒ කාලේ කෑම ගැනනම් කතා කරන්නේ නෑ. අපේ අනිත් තුන් දෙනාටම බෝරින් සබ්ජෙක්ට් එකක් ඒක'.

ඇය මවු රටට යන්නේ අවුරුදු පහකට පස්සේය. ඇය මා අල්ලාගෙන තියෙන්නේ අවුරුදු පහක් තිස්සේ කතා කරන්නට බැරි වූ රස මතකයන් වල ඇරියස් එක තරමකට හෝ  කවර් කරන්නටය.

යුරෝපයේ ජීවත් වෙන හැමෝම මේ වගේ නොවුනත් එහෙම ජීවත් වන පවුල්ද එතෙරත් මෙතෙරත් තිබෙන මම දන්නෙමි.. කතා බහ නොකර සිටීමට කැමති පිරිසක් මැද කතා බහ කරන්නට ආසා ඇති  කාට හෝ කාලාන්තරයක් ඉන්නට ලැබුනොත් එයනම් අබග්ගයකි.

වරක් මම ගුවන් තොටුපලක වාඩි  වී  සිටිද්දී  මා ඉදිරියේ සිටියේ ඉතා වයසක හරිම සිරියාවන්ත ආච්චී කෙනෙකුත් ඇයගේ නව යොවුන් මිනිපිරියත්ය. ඔය දෙදෙනාම එකිනෙකා ගෑවෙන සේ වාඩි  වී පොත් දෙකක් කියවමින් සිටියහ. මිණිපිරී කියවනා පොතේ රසවත් යමක් තිබුනේනම් ඇය වහා සිය අත්තම්මාට ඒ කොටස විස්තර කර කියා දෙන්නීය. ඉන් පසු දෙදෙනාම විනාඩි දෙක තුනක් සිනා වෙති. ආදර ලෙන්ගතුකම් පෙන්වා ගනිති. ආච්චී කියවන පොතේද ඒ වගේ තැන්  හමු වෙයි. ඇය සිය මිනිපිරිය වහා තව ටිකක් ලඟට ඇදගෙන තමන් සොයාගත් රස කොටස කියවයි. ආයිමත් දෙදෙනාම සිනාසෙති. මේ රස ජවනිකා මාලාව   පැයක් තිස්සේ බල බලා මා වින්දේ සොම්නස් සුවයකි.

ඒත් මෑත අවුරුදුවල නම් පවුල් පිටින් මට හමු වන්නේ ටැබ් හා ස්මාර්ට්ෆෝන් දෙස බලාගෙන තනි තනි ලෝකවල සැරිසරන පවුල්ය. ඔවුන් එකිනෙකා කතා කරන්නේ නැත. කියන්නට ඕනෑම නම් යමක් බලෙන් වාගේ කියලා දැම්මාට අනිකා ගණන් ගන්නේ නැත.

ඉලෙක්ට්‍රොනික නිස්සබ්ද පවුල් දැක දැක මම අපේ ගෙදර ගැන කල්පනා කරමි.

දෙයියනේ අපේ ගෙදර පිරිලා තියෙන පොඩි උන් දෙන්නාගේ බොළඳ කතාබස්, සණ්ඩු සරුවල් හා උන්ගේ අම්මාගේ චුරුචුරුව හා හිනා හඬ නැති වෙලා හැමෝම ටැබ් ටිකක් දිහා බලා ඉන්න දවසක් උදා උනොත්.

අනිත් මොන දේ නැති උනත් රණ්ඩු සරුවල් වෙන  චුරු චුරු ගාන, මැසිවිලි කියන, ආයෙත් හිනාවෙන ගෙදරක ජීවත් වෙන්නට ලැබෙනවානම් මම කැමතිය.

Image; Sunday  Times

Monday, December 2, 2013

23 ශ්‍රී පාන් බාගේ

මීට දශක දෙකකට ඉතර  ඉස්සර අපි ඉන්දියානු චිත්‍රපට උළෙලක් බැලුවා. ඒකෙ පෙන්නාපු චිත්‍රපට අතරින් මගේ හිතට අල්ලාපු හොඳම එක තමයි පිරවී. ඒක මලයාලම් චිත්‍රපටියක්.

සරසවි සිසුවෙක් වෙච්ච තමන්ගේ පුතා එයිද බලන්න හැමදාම ගමේ අන්තිම බස් එක එනකන් බලා හිටි තාත්තා කෙනෙක් ගැන හිත උණු වෙලා යන ෆිල්ම් එකක්. කතාවේ හැටියට ඒ පුතත් අතුරුදන් වෙලා.

ඇල්දෙනි, කඳු, කෙත්යායවල් පහු කරගෙන ආපු  පුංච් බස් එකේ එක ගමනාන්තයක් තිබුනේ ගමේ පුංචි කඩ කෑල්ලක් ළඟ. අන්තිම බස් එක එනකොට හතර අතින් කළුවර වැටිලා. කඩවල ලාම්පු එලියෙනුයි වාහනේ ලාම්පු එලියෙනුයි තමයි එලිය උනේ.

අපේ ගමේ බස් එක ඊටත් පුංචිද මන්දා. බස් එක ඇවිත් රැට නතර කරන්නේ අපේ ආච්චිලා මිදුල අද්දර. එතනත් පුචිම පුංචි තේ කඩයක් තිබ්බා. තාමත් තියෙනවද කොහෙද. මේ බස් එකේ හැඩය හරියට පාන් බාගයක් වගේ.  කවුරුත් කිව්වේ පාන් බාගේ බස් එක කියලා.

1975 අවුරුද්ද විතර වෙනකන් අපේ ගමට බස් එකක් ආවේ නෑ . පළවෙනියට බස් දාපු දවසේ 23 ශ්‍රී නොම්මර තියෙන පාන් බාගේ බස් දෙකක්‌ම ගමට ආවේ පොල්මල් එහෙම ගහල සරසවාගෙන.

එදා අපි උදේ හිට හවස් වෙනකම්ම ගමේ ඉඳන් කිට්ටුම නගරෙට වාර හතරක් විතර බස් එකේ ගියා ආවා . එක පැත්තකට බාගේ ටිකට් එකක් ශත දහයයි. මම එදා ගමන් බිමන් ගියේ කකුල් දෙකට දිග මේස්  දෙකක් දාලා සපත්තු නෙවෙයි සෙරෙප්පු දෙකක් දාලා. වෙනද වගේ නිකම්ම රබර් සෙරෙප්පු දෙක දාගෙන යන එක හරි මදි වගේ හිතුනා.

පළවෙනි දවසෙම හැන්දෑවේ එක බස් එකක් ලොරියක හැප්පිලා පැත්තක් කුඩුපට්ටම් උනා. ඊට  පස්සේ දිගටම ආවේ තනි බස් එකක්. රියදුරු දාවිත් මාමා , කොන්දොස්තර හුදුමාමා. අපේ ගමේ ඉඳන් දෙපැත්තේ ගම් දෙකේ හිටියේ.

කොළඹ නගරේ  වාහනයක් පදවන එක කොයි තරම් මානසික පීඩනයක් දෙන දෙයක්ද. බස් එකකනම් කවුරුත් බහිනකන් පරක්කු උනොත් බස් පලුවන්ට වගේම අනිත් කට්ටියටත් නහුතෙට තද වෙනවා.

ඒ කාලේ හොඳයි දැන් නරකයි කියන්ට යනවා නෙවෙයි හැමදාම. ඒත් ඔය කියන තදියමක්නම් අපේ ගමේ පාන් බාගේ බස් එකට තිබ්බෙම නෑ.

උදේ පාන්දර ට්‍රිප් එක වෙලාව වරද්දන්නෙ නැතිව හරියට  ගියේ ඉස්කෝලේ ළමයිනුයි රස්සාවලට යන කිහිප දෙනෙකුයි පරක්කු කරන්න හොඳ නැති හින්දා.

අනිත් ඒවා බොහොම නිවී සැනසිල්ලේ හෙමින් සැරේ ගිය ගමන්. ගමේ දානේ ගෙදරක් හරි උත්සවයක් හරි තිබ්බොත් එතැනට දාවිත් මාමයි හුදු මාමයි  එක්කරගෙන ගිහිල්ල කෑම වේලක් දෙනවා. එතකන් බස් එක නතර කරගෙන හිටියට කවුරුත් දොස් කියන්න ආවේ නෑ. පෙළක් වෙලාවට බස් එකේ කට්ටියටම රස කැවිලි පාර්සලයක් හම්බ වෙනවා.

බස්එකේ පිටිපස්සේ වහලෙට නගින්න ඉණිමගක්  තිබ්බා. වහලේ තිබ්බ යකඩ රාක්කෙට එළවලු ගෝනි පටවනකන්, බානකන් කවුරුත් ඉවසාගෙන හිටියා.

අපේ ගෙදරට නිතරම වගේ පත්තරයක් දෙකක් ගන්නවා. සඳුදාට  මිහිර පත්තරේ, මාසෙකට දෙපාරක් ආපු ( 12 වැනිදායි 26 වනිදයිද කොහෙද) නවයුගය පත්තරෙයි ඉරිද  සිළුමිණයි, රිවිරැසයි ලංකාදීපෙයි. ගොඩක් වෙලාවට පත්තර ගෙන්නගන්නේ දාවිත්  මාමාට සල්ලි දීලා.ටව්මේ කඩෙන් අරන් අපේ ගෙදර ළඟදී හීන් හෝන් පාරක් ගහලා පත්තර ටික  මිදුලට විසි කරලා යනවා.

උදේ පාන්දර නැගිටලා, හදිසියෙන් ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගම අපේ ගෙදර එකෙකුට හරි මොකක් හරි අමතක වෙලා . ගොඩක් වෙලාවකට බස් සීසන් එක. ඉතින් 'අනේ මාමේ පොඩ්ඩක් නතර කරන්න' කියන්නේ හෝල්ට් දෙකක් විතර ගියාම. ඊට පස්සේ ආපහු අරගෙන එනකන් බස් එක විනාඩි පහක් දහයක් නවත්තගෙන ඉන්දැද්දී කිසි කෙනෙක් මුණ රොස්පරොස් කර ගන්නවානම් මම දැකලා නෑ .

හවසට අපේ ආච්චිලා ගෙදර ඉස්සරහ රතු පස් ගොඩේ බස් එක නවත්තලා රෝද හතරට තඩි ගල් ගෙඩි හතරක් තියලා ඊට පස්සේ බස් එකේ ගියර් ලිවර් එක ගලෝල ආච්චිලා ගෙදරින් තියනවා . ඊළඟට හුදු මාමයි දාවිත් මාමයි බස් පාර දිගේ ආපහු කන්ද නැගගෙන යන ගමන් හම්බවෙන පළවෙනි අතුරු පාරෙන් හැරිලා සිරි මාමලා ගේ පිටිපස්සේ ඉඳන් කිතුල් රා වීදුරු දෙකක් බොනවා. රාජලා පෙට්ටි කඩෙන් රතුළුණු ගෙඩි දෙකයි උම්බලකඩ කෑලි දෙකයි අරගෙන හප හපා සිංදුවකුත් කියා කියා කුරුල්ලෝ දෙන්න වගේ ගෙවල්වලට යන්නේ ඊට පස්සේ.

ඔන්න ඕක දැකලා මටත් පුරුද්දක් තිබ්බ උම්බලකඩයි රතුලුනුයි එකට කන්න. රා වීදුරුවක් බොන්නනම් වාසනාව ලැබුනේ ඊටත් සැහෙන කාලෙකට පස්සෙයි.

දවසක් අපි  ඒ හැටි කලබලයක් නැති සෙනසුරාදා දවසක බස් එකේ කොහේදෝ යනවා. අතරමගින් බස් එකට ගොඩ වෙච්ච මැණිකා ආච්චි බස් එක පිටත් වෙලා ටිකක් දුර යද්දී එක පාරටම කෑ  ගහන්න පටන් ගත්තා.

'අනේ පුතේ ඩිංගකට නවත්තපල්ලා .මට රත්තිව දිගේලි කරලා එන්න බැරි උනා. දැන්  ඔය කාගේ හරි කුඹුරකට පැනලා කෝටුපාර කයිද දන්නේ නෑ  දෙයියනේ'

දාවිත් මාමා  හිනාවෙවී බස් එක නතර කළා. ' ලොකු අම්මා එහෙනම් ගිහින් වැස්සිව ගැට ගහලා එන්න.

විනාඩි හත අටකට පස්සේ මැණිකා ආච්චි ලහි ලහියේ ආපහු ආව හරක දිගේලි කරලා. එහෙන් මෙහෙන් හීනි මඩ  පැල්ලම් දෙක තුනක්  සාරියේ තැවරිලත් තිබ්බා.. ඒ එනකොට පාතින් තිබ්බ අත්තකින් කහ වෙච්ච හින්නාරන් ගෙඩි පොකුරක්  කඩා ගෙන ඇවිත් දාවිත් මාමා අතේ තිබ්බා.

එදා ගමනාන්තයට යනකන් දාවිත් මාමාගෙයි බස් එකේ හිටි හැමෝගෙමයි මුණු  පුරා හිනා පොකුරක් රැඳිලා තිබ්බා. හරියට අර ඉදිච්ච හින්නාරන් ගෙඩි පොකුර වගේ.

Image from : guidetobelize.info/