Wednesday, October 9, 2013

ගුරු තරුව


මේ ඊයේ පෙරේදා මට බ්ලොග් සටහනක් ලියන්නටවත් වෙලාවක් හොයා ගන්නට  බැරි තරම් යුද්දයක් තිබුනේය.කඩුවෙන්  සටන් කරන්නට තිබ්බේ අමු සුද්දන් සමගය.  ලැබෙන  ලියුමට උත්තර දහයක්. වාර්තාවට වාර්තාවක් .ඇසට ඇසක්.දතට දතක්.  මම දැන් දිනන්නට ආසන්නය. ප්‍රතිමල්ලව පිලේ කඩු  හරඹ පෑ  සුද්දෝද අවසන මා සමග සවුදිය පුරන්නට එන බව මම දනිමි. හදන්නට සැලසුම් සකසන  අහස්  පාලමක වෙනස්කම් කිහිපයක් කිරීමට ඕනෑ  වූ නිසා  තවත් සුද්දන් පිරිසක් සමග ලියකියවිලි යුද්දයක් කරන්නට සිදු වී ඇත. යුද්දයේ අවසාන අදියරේදී පවා මා හෙම්බත් වී සිටිනවා වෙනුවට පෙරටත් වඩා උද්දාමයෙන් සිටිමි.

ඉංග්රීසියෙන් බැන ගැනීමටත් ඉංග්රීසියෙන් සාහිත්ය නිර්මාණ කරන්නටත් මට අපහසු  බව ඇත්තය. එහෙත් ඕනෑම සුද්දෙක්  එවන ලියුමකට හොඳින්නම් හොඳින් නරකින් නම් නරකින් පතුරු යන්නට  උත්තර ලියන්නට මට පුළුවන්ය. මේ හපන්කමට උදවු කරන පුද්ගලයෙක් මා ළඟ නිරතුරුව ගැවසෙයි . ඔහු මා ලියන හැම අකුරක් ගැනම පරිස්සම් වෙයි. මේක කපපන්. අන්න හරි. දැන් ඊළඟ පේලිය. හරියට හරි. ඔහු මා ලියන පේලි අතර හිඳගෙන දයාබරව සිනාසෙයි.

අපේ ගම් දනව්ව සොයා ආ දුයිෂෙන් ඔහුය. නිර්වයාජ උතුම් මිනිසෙකු වූ සිල්වා සර් ගැන කියද්දී මා සිත ශෝකය,ගවුරවය හා ආඩම්බරය මුසු හැඟීම් සමුදායකින් පිරී යයි.  මා පමණක් නොව තමන් සෙවනේ හැදී වැදුනු සිය ගණනක් වූ පිරිස දක්ෂ කඩු  සටන් කරුවන්  කරන්නට ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකකින් සැරසී නිරහංකාරව පාරේ පයින් ඇවිද ගිය මේ කුඩා මිනිසාට  හැකි විය.

ඉස්සර ඉස්කෝලේ අච්චු පොත් නොමිලයේ දුන්නේ නැත. ඒ වෙනුවට අවුරුද්ද මුල අලුත් පොත් පත් කට්ටලයක් හැම දරුවෙක් වෙනුවෙන්ම  මිලදී ගත යුතු විය. මට නම් මාස තුනෙන් තුනට අලුත් අච්චු පොත් සෙට් එකක් අරන් දෙන්නට අම්මාට සිදු විය. .මගේ පොත් මාසෙකින් දෙකකින් කවරය ගැලවී අවර්ණ වී ගිය විට මට අලුත් පොත් ඕනෑ වෙයි.පොතේ මුද්රණ තීන්ත  සුවඳ දැනුනේ නැත්නම් මට ඒ පොත ඇල්ලුවේ නැත. ඒත් තුනේ පන්තියේ හා හතරේ පන්තියේ ඉංග්රීසි පොත් වලට  එහෙම උනේ නැත. ඒවා අලුත් පිට අල්ලනේවත් නැතිව ඔහේ තිබුනේ අපිට ඉස්කෝලේ ඉංග්රීසි ගුරුවරයෙක් හිටියේ නැති නිසාය. අක්කලා කියා දෙන්නට යන මේ ආගන්තුක භාෂාව මට හිතට අල්ලුවේම නැත.  ඉංග්රීසි මළ පොතේ අකුරක් බැරිව මම පහේ පන්තියටද පාස් වුනෙමි.

ඒ අවුරුද්දේ සිරියාවන්ත ඉංග්රීසි ගුරුතුමියක් අපේ පාසලට ආවාය. ඇය  ඉතාම තුරුණු වියේ සිටි අතර දරුවන් අතර සැරි සැරුවේ ලෙන්ගතු යෙහෙලියක් පරිද්දෙනි. අප්රියජනක විෂයයක් වූ ඉංග්රීසි, ඉගෙන ගැනීමට ආශා හිතෙන, උද්යෝගය දනවන විෂයයක් කලේ ඇයයි. ඇය බලන්නට ඉඳ හිට තවත් පුද්ගලයෙක් පාසලට ආවේය ගියේය. ඒ කොළඹ රටේ සිට හපුතලේ කන්ද තරණය කර පැමිණි සිල්වා සර්ය. ඔහු අපේ ගුරුතුමිය කසාද බැඳගෙන ඇගේ ගමේම බින්න බැස්සේය. කුඩා මිශ්ර  පාසලක ඉංග්රීටසි උගන්වන්නට පටන් ගත්තේය. ඔහු උගන්වන ප්‍රියමනාප විලාශය පිලිබඳ ආරංචි පැතිර යත්ම 'අනේ සර් සති අන්ත පන්තියක් කරන්නකෝ' යැයි අනිත් ඉස්කෝලවල යන දරුවන්ගේ දෙමවුපියෝ ඇවිටිලි කළහ. මේ නිසාම ඔහු අතිරේක පන්ති පටන් ගත්තේය.

එකම එක පෝස්ටරයක් ගැසුවේ නැති උනත් ඔහුගේ පන්තිවලට ළමයි වැල නොකැඩී ආවෝය. පන්ති ගාස්තුවක් ගැන කියන්නට හෝ සල්ලි ඉල්ලන්නට සිල්වා සර් කවරදාකවත් ඉදිරිපත් වී නැත. ඒ වෙනුවට පන්තියට එනවුන් සිය කැමැත්තෙන් ගානක් කතා අරගෙන එකතු කර මාසේ අන්තිමට සර්ගේ අතේ තිබ්බේය. එය ගණන් කරන්නේවත් නැතිව අහිංසක හිනාවකින් ස්තුති කරමින් සාකුවේ රුවා ගත්තේය.

බෙන්ස් කාර් එකක නැගී රටපුරා ජයකෙහෙලි නංවන ටියුෂන් තරුවක් වන්නට ඔහුට ලකුණු දහයෙන් දහයම තිබ්බේය. ඒත් ඒ මාර්ගයේ නොයා කොල්ලන් කෙල්ලන් සමග  විහිලු කතා කියමින් පයින්ම යන්නට කැමති වූ ඔහුට පුෂ් බය්සිකලයක්වත් තිබුනේ නැත.

ඔහු රවුමක් ගැන කියද්දී  ගිනි බෝල කරකවන්නෙක් මෙන් අත් දෙකම කරකවා පෙන්නුවේය. උගන්වද්දී ඔහු මුළු ඇඟම වෙහෙසුවේය. රඟපා පෙන්නුවේය. ඔහු පැයක් ඇතුලත පන්තියේම කිලෝ මීටරයක් පමණ ඇවිද්දේය.

අපේ ගම්  පලාතට  එද්දීත් ඔහු පුහුණු ඉංගිරිසි  ගුරුවරයෙකි. පෙරළිකාරයෙක්, කචල්කාරයෙක් ලෙස අද්යාපන නිලදාරීන්ට  හා දේශපාලකයින්ට ඔහුව  පෙනුණු සෙයකි. ඒ නිසා  ඔහු හැමදාම උපගුරුවරයෙක්ම විය.
මැයි දිනයේ ඔහු අනිවාර්යයෙන්ම රතු කමිසයකින් සැරසී සිටි මුත් තමන්ගේ සුපුරුදු රාජකාරිවල නිරත වුනේය. ඉංග්‍රීසි ඉගැන්වූයේය, එළවලු ගෙනෙන්නට පොලට ගියේය.

ටෝට්ටෝ චාන් කතාවේ ඔබයාශි ගුරුතුමා සේම සිල්වා සර් ඉංග්‍රීසි උගන්වන්නට හරි පුදුම  ක්‍රම බාවිතා කළේය. පසුදා  පන්තිය පැවැත්වෙන්නේ දියතලාව රීගල් සිනිමා ශාලාවේ බව ඔහු කලින් දවසෙම කිව්වේය. එදා අපි ඔහු සමග බෙන්හර් චිත්‍රපටය බැලුවෙමු.ඔහු ඊළඟ දවසේ චිතරපටයේ නාම නාම විස්තර කතා කළේය. ඉංග්‍රීසි දෙබස් , චිත්‍රපට ඉතිහාසය. චාල්ස්ටන් හෙස්ටන් ගැන. කඳු වළල්ලෙන් එහා ලෝකය ගැන අපේ සිත් උනන්දු කළේ  ඒ ආකාරයටය.  ඔහු  පන්තියට එන විට ඉරිදා ඉංග්‍රීසි පත්තරය කිහිල්ලේ ගසාගෙන ඇවිත්  අමු ඕපාදුපයක් හෝ දේශපාලකයෙකුට පහර ගැසූ ලියුමක් ගැන කියවයි. ඉන් පසුව පන්තියේ එකිනෙකා පත්තරේ  තැන තැන ශබ්ද නගා කියවිය යුතුය. ඊළඟට කියවන විට ලියා ගැනීම. අන්තිමට සාරාංශය. පහුවදා පත්තරයේ කතා කළ  දේ ගැන පන්තිය දෙපිල බෙදී විවාදයකි. පන්තියේ අන්තිම පැය බාගයේදී පමණක් ආණ්ඩුවේ විභාගයට සුදානම් කරවන කොටස් ඉගැන්නුවේය. පන්තියට ආ හැමෝම පාහේ ඒ විබාගයද හොඳින් පාස් වුණෝය.

හවසට ඉංග්‍රීසි ප්‍රවුර්ති අසා පහුවදා පන්තියේ ප්‍රවුර්ති කියන්නට ඔහු කීවේය. ළමා පත්තරයක් අතට දී එහි වර්ණ පින්තුර ඉංග්‍රීසියෙන් විස්තර කරන්නැයි වැඩිහිටි සිසුන්ට කිව්වේය. ඔහුගේ පන්තිවල හයේ පන්තියේ සිට දොළහේ පන්තිය දක්වා ළමයිද වියපත් වැඩිහිටියෝද එකට වාඩි  වී ඉගෙන ගත්හ.

එහෙත් සිල්වා සර් අද නැත. අපේ චිත්ත  සන්තානය සසල කරවා, හපුතලේ කන්ද ශෝකයෙන් හඬා  වැටෙද්දී අවුරුදු පනහ වෙන්නටත් කලින් මේ සොඳුරු මිනිසා  මිය ගියේය.  ඊටත් අවුරුදු විස්සකට පසුවද  ඔහුගේ ඇල්ම බැල්ම පිළිසරණ අප වටා  සැරි සරණ හැටි පුදුමාකාරය.


(සේයාරුව දෙව්නිගෙන්)


27 comments:

  1. ඔහොම ගුරුවරු කොතෙකුත් වෙසෙති . ඒ මිනිසුන් කෙදිනකවත් පට්ටම්,මුදල් හෙව්වේ නැත. එත් ඔවුන්ගෙන් ඉගෙනගත් අයගෙන් අවසානයේ ඔවුන්ව මතක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද
    "පැන මඩකඩිති වැව තාවුළු පෙර කාලේ ..............."

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්. මිල මුදලින් ලබන්න බැරි ආත්ම තෘප්තියක් තමයි මේ වගේ ගුරුවරු බලාපොරොත්තු වුනේ.

      Delete
  2. නියම ගුරු පියෙක්.. එහෙම කෙනෙක් ලඟ ඉගෙන ගන්න ලබන්නත් පූරුවෙ කල පින් තියෙන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. අපට ඒ පින නොඅඩුවම ලැබුනා සරත්

      Delete
  3. Dhanasiri Palitha HerathOctober 9, 2013 at 8:28 PM

    ඒ කාලෙත් උබලා සිල්වා සර් ගෑන කියනවා අපිට මතකයි. දියතලාවේ ඉදලා ඉස්කෝලේ ආව ගොඩාක් දෙනෙක් සර්ගේ ක්ලාස් ගියා.මේ කතාව සර්ට උපහාරයක්.

    ReplyDelete
    Replies
    1. ඔවු පාලිත ඉස්සර අපි නිතරම සර්ගේ කතා පන්තියට ඇවිත් කියනවා

      Delete
  4. අපූරු සංවේදී සටහනක්. මා සමග පන්තියේ සිටි සියලු දෙනාම පාහේ සිල්වා සර්ගෙන් ඉංගිරිසි ඉගෙන ගත් නමුත් මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. එහෙත් මා ඔහු සහ ඔහුගේ පවුලේ සියලු දෙනා හොඳින් අඳුනනවා. සිල්වා සර් ගැන ඔබ මෙවැනි සටහනක් තැබීම විශිෂ්ට කාර්යක්. එය හරියට ගුරු පඬුරක් වගෙයි. සිල්වා සර්ගේ බිරියටත් දරුවන්ටත් මෙය කියවන්නට අවස්ථාව ලැබුණොත් ඉතා හොඳයි. මා හිතන්නේ අපේ ජීවිතවල යම් විශාල වෙනසක් කරන්නට සමත් වූ ගුරුවරුන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අපි හැමෝටම සිටිනවා. අප අද සිටින තැන සිටින්නට ඔවුන් කළ මගපෙන්වීම මිල කළ නොහැකියි. කෙසේවුවත් ඔබේ සංවේදී සටහනට කෘතවේදීත්වය පිරිනමනවා.

    ReplyDelete
    Replies
    1. සිල්වා සර්ගේ දයාබර බිරිඳත් දැන් මෙලොව හැර ගිහින්. අපි ලබන අවුරුද්දේ සිල්වා සර්ගේ සැමරුමක් ලැහැස්ති කරන්න හිතාගෙන ඉන්නවා නිලුක.

      Delete
  5. ඇත්තෙන්ම බං මේ හොඳ ගුරුවරයෙක් ගෙන මේ මාසේ අහපු දෙවෙනි සටහන.

    මේ වගේ මිනිසුන්ව අගය කරන උඹ වගේ කෙළෙහිගුණ දත් ගෝලයන්වත් මම අගය කරනවා ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට.

    අනිත් සටහන මම දැක්කේ මෙතන.
    සංගීත කාමරේ ... මගේ ගුරුවරිය.

    ReplyDelete
    Replies
    1. සංගීත කාමරේ කතවාත් ලස්සනයි. ඩෙනිම ගැන කියද්දී මට උඹවත් මතක් වුනා.

      Delete
  6. ඇත්තටම ඒ වගේ සැබෑ ගුරුවරයෙක් ගැන අහන්න ලැබීමත් සතුටක්. අපේ පරම්පරාවේත් එහෙන් මෙහෙන් ඔය වගේ ගුරුවරු කීප දෙනෙක් හම්බු උනා. දැන් නම් මම හිතන්නේ බොහොම අතළොස්සක් තමයි ඉන්නේ ඒ වගේ.

    අනික් කාරණේ - දැන් බඳවාගන්න උපාධිධාරී ගුරුවරු බහුතරයට තමන් උගන්වන දරුවෝ ගැන මෙලෝ හැඟීමක් නෑ. වැඩි පඩියක් සහිත ආණ්ඩුවේ රස්සාවක් ලැබෙන කම් කාලේ කන්න යොදාගෙන තියෙන රස්සාව තමයි අද ගුරු වෘත්තීය.

    ReplyDelete
    Replies
    1. ගුරු රස්සාව ආසාවෙන් කරන්න බැරි වෙන තව ගොඩක් හේතු තියෙනවා. කොහොමත් හොඳ ගුරුවරු අඩුයි.

      Delete
  7. උබත් වාසනාවන්ත වෙලා එ සර් ගෙන් ඉගෙන ගන්න නේද.

    ReplyDelete
    Replies
    1. ඔවු මචන් . ඒ වගේම මේ වගේ කතා උඹලා එක්ක බෙදා ගන්න ලැබීමත් වාසනාවක් කියල හිතෙනවා

      Delete
  8. ඔය වැනි ගුරුවරු පිදිය යුතු දෙවිවරු....

    අපිටත් වාසනාවක් ලැබුණා "සිල්වා සර්" වගේ ගුරු පියෙකුගෙන් ගණිතය ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔවු මචන්, ඒ අපුරු ගණිත ගුරුවරයාගේ කතාව ලියන්නකෝ. මටත් තියෙනවා තව විශේෂ ගුරුතුමන් හා ගුරුතුමියන් කීප දෙනෙක් ගැන ලියන්න.

      Delete
  9. බිරිඳත් ගුරුවරියක් උන නිසා මහා ලොකු සල්ලි ප්‍රශ්නයක් හිතේ නැති නිසා ඔය වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙන්න ඇති කියල මට එකපාරටම හිතුනෙ... නැත්තං ගෙවල්වල අවශ්‍යතා සපුරන්න මුදල් අවශ්‍යතා වලදි මිනිස්සුන්ට සල්ලි මත්තෙ නහින්න සිද්ධ වෙනව... එහෙම නොවුනොත් ඒක විඳවන්නෙ ගෙදර ඉන්න අනිත් මිනිස්සු... ඒ අයත් ඒ වගේම ජීවත් වෙනවනං ඉතිං ප්‍රශ්නයක් නෑ.. හැබැයි ගොඩක් තැන්වලදි එහෙම නෑ... සැහැල්ලුවෙන් ජීවත් වෙන අයගේ ජීවන රටා වලදි අනේ ඇයි අප්පා අපිට මේ වගේ ඉන්න බැරි කියලා හිතිලා දුක හිතෙන‌ෙකාට මේක තමයි වැඩිය කාටවත් නොපෙනෙන පැත්ත... මේ ලිව්වෙ මට එකපාරටම හිතිච්ච දෙයක්...

    ගුරුවරු හොඳ වෙන්නෙ සිලබස් එක උගන්නන එකෙනෙක් නෙවෙයි ළමයින්ට අවශ්‍ය දේ උගන්නන එකෙන් කියලා මේකෙන් තවත් ඔප්පු වෙනව... සමහර ගුරුවරු ගොඩාක් මහන්සි වෙලා සිලබස් එක උගන්නනවා.. සමහරු හරි සැහැල්ලුවෙන් ළමයින්ට ජීවිතයට අවශ්‍ය දේ උගන්නනවා... දෙන්නම හිතන්නෙ මම හොඳ ගුරුවරයෙක් කියල.. ඒත් වැඩිපුර වටිනාකමක් තියෙන්නෙ එක්කෙනෙක්ට විතරයි...

    ටීචර්ස් ඩේ සුවිනියර්ස් ටික හදද්දි ළමයි කීපදෙනෙක්ම තමන්ගේ ගුරුවරු ගැන හිතන්නේ කොහොමද කියලා මට දකින්න ලැබුනා... එක්කෙනෙක් කියනවා “ අම්මෙ අපි මේකක් ගමු අපේ ටීචර්ට” කියලා.. අම්මා මට කියනවා මෙයා මේ අපේ ටීචර් කියන්නෙ ඉස්කෝලෙ සරඹ හෙවත් ක්‍රීඩා ගුරුවරියටයි කියලා... ක්‍රීඩාවට ලැදි ළමයෙක් උනාට ඒ ළමයට ක්‍රීඩා කරන්න අමාරුයි.. එයා ලියුකේමියාවෙන් පෙළෙන ළමයෙක්... ඒත් ගුරුවරිය එයාට අනිත් ළමයින්ට වගේම ක්‍රීඩා කරන්න උනන්දු කරවනවලු... ඉතිං එයා අනිත් හැමෝටම වඩා අර ගුරුවරියට ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හිරු. සරල විදිහට ජීවත් වුනාට සර්ට ආර්ථික අමාරුකම් නොතිබුනා කියල මන් හිතන් නෑ .ළමයි තුන් දෙනෙකුට උගන්වන එක ගෙයක් හදා ගන්න එක වගේ දේවලුත් සර්ට කරන්න තිබ්බ. පවුලේ උදවියගේ තේරුම් ගැනීම අවබෝදය හොඳ වූ නිසා මේ කතාව මේ වගේ උනා කියලයි මට හිතෙන්නේ
      අර ලියුකේමියා හැදිච්ච දරුවාගේ කතාව හරි සංවේදියි.
      අපේ කෙල්ලනුත් ගුරු දිනයට මග ගොඩක් දේවල් කරා. ඒත් ළමයි මේ සේරම කරන්නේ හිතේ ඉන්න විශේෂ ගුරුවරියක් දෙන්නෙක් උදෙසාම තමයි. .

      Delete
  10. සිල්වා සර්ලා වෙනුවට සිල්වා මුදලාලිලා බිහිවීම තමයි අවාසනාව තිලකේ. මට හරිහමන් විදිහට ඉංග්‍රීසි කියලා දුන්නේ මාත් එක්ක හෝටලයක වැඩ කරපු මගේම වයසේ කුක් කෙනෙක් මනිලාල් කියලා. මට හරිහමන් පොත් තොරලා දීල ඒවා ඌට ඇහෙන්න කියවන්න කියනවා. අපි දෙන්නා එක කාමරේක හිටියේ. පස්සේ පුදුම විදිහට ඩ්‍රග්ස් වලට හුරු උනා. ඒකත් මහ පුදුම කතාවක් තිලකේ. උගේ එකම ආශාව උනේ ගිටාර් එක,චිත්‍ර ඇඳීම, ඉංග්‍රීසි පොත් කියවීම සහ මට ඉගැන්වීම. ඒ පරිච්ඡේදය මම පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. උඹේ අපුරු අත්දැකීම් ටිකක් කියවන්න ආසාවෙන් බලා ඉන්නවා. ඉක්මනට ලියපන්

      Delete
  11. අති දුර්ලභ චරිතයක්. මෙවැනි ගුරුවරු සදා වාසනාවන්.

    තිලක ඔබේ රචනා විලාශය අති මනරම්. එයට ආභාෂය ලැබුනේ කොහෙන්ද? අපේ කම්මලෙන් නම් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . ඔබ මේ පැත්තේ ආව එක ගැන හරි සතුටුයි.. ලිවීම් මා පටන් ගත්තේ කම්මලේ සිටිද්දීම තමයි. කම්මලෙන් පිටවෙලා ටික කලක් පත්තර රස්සාවකුත් මම කළා. ඒ ගැන මම පස්සේ ලියන්නම්.

      Delete
  12. මචං උබේ අත්දැකීමට සමාන එකක් මටත් තියෙනවා. ඒ ගුරුවරියක්. ඇය ළමුන්ට ඉතා සමීප ඌවා. මට එහි ප්‍රමාණයක් කියන්න බැහැ. හැදුනුම්පත ප්‍රමාදවී මා විභාගයට යොමු කරන්න ඇය ගත් වෙර මට හොඳින් මතකය. නමුත්, ඇයට එකදු දරුවෙක්වත් සිටියේ නැහැ. එනිසාදෝ ඇයගේ කරුණාවන්තබව අපට ලැබුනේ කියා විටෙක සිතෙනවා. දැන් එතුමිය කොහේද කියා දන්නේද නැත.

    ReplyDelete
  13. මචෝ මාගේ පෙනුමෙන් තවත් විකාර ජිං පප්පෙක් එයි. ඌ මම නෙවේ.

    ReplyDelete
  14. මචන්, උබෙ බ්ලොගෙට "කතන්දර" ගෙන් ෆුල් බකප් එකක් ලෑබිලා තියෙන බව දක්කාම අපිට සන්තොසය්...

    "මානිවත්ත අභික්කම".... ඔහොම යන්.. ඔහොම යන්.....

    ReplyDelete
  15. පාසලෙන් පිට අපිටත් මේ වගේම ඉංග්‍රීසි උගන්නපු ගුරුවරයෙක් හිටියා... ඒ සරුත් ලඟකදි මැරුණා.... බොහොම ස්තූතියි අපේ ජීවිත වෙනස් කල ගුරුවරු ගැන මතකය අවදිකරන්නට පෙළඹෙව්වාට...

    ReplyDelete